News

දින 25ටගිනි තැබීම් 49යි

පෙබරවාරි මාසයේ පළමු දින 25 දී අවස්ථා 49 කදී භූමි අක්කර විශාල ප්‍රමාණයක් ගිනි තබා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් අතුල අරියරත්න ‘අරුණ’ කළ විමසීමකදී පැවසීය.

රක්ෂිත 24 ක් සහ අභයභූමියක්ද ඊට අයත් වේ. බුත්ගමුව වගුරු බිම් සහිත කැලෑවක පසුගියදා (25 වැනිදා) ගිනි තැබීමක් සිදුවිය.

මෙම මාසයේ වැඩිම ගිනි ගැනීම් ප්‍රමාණයක් වාර්තා වන්නේ පසුගිය 20 වැනිදාය.

ශ්‍රී ලංකාවේ හිතාමතා ගිනි තැබීම් හෝ අත්වැරදීමෙන් හට ගන්නා වනාන්තර ගිනි ගැනීම් මිස ලැව්ගිනි හට නොගන්නා බව මේ පිළිබඳව අදහස් දක්වමින් වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානයේ කැඳවුම්කරු ජයන්ත විජේසිංහ ‘අරුණ’ට පැවසීය.

පෙබරවාරි මාසයේදීම හන්තාන රක්ෂිතය දෙවතාවක් ගිනි තබා ඇති අතර එයින් අක්කර 10 කට වඩා වැඩි ප්‍රදේශයක් විනාශ වූ බවද හෙතෙම සඳහන් කළේය.

ගිනි තැබීම් හේතුවෙන් ලංකාවේ වාර්ෂිකව විනාශවන භූමි ප්‍රමාණය අක්කර 6000 කට ආසන්නය.

මෙම ගිනි ගැනීම් ප්‍රමාණය වාර්ෂිකව ඉහළ යන අතර යම් පුද්ගලයෙකු මීට වරදකරුවකු වන්නේ නම් වසර හතක සිර දඬුවමකට යටත් වේ.

එනමුත් නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ගිනි තැබීම් සිදුකරන පුද්ගලයන් හඳුනාගැනීමේ හැකියාවක් නොමැති බවද හෙතෙම සඳහන් කළේය.

ඉඩම් අල්ලාගැනීම, සතුන් දඩයම, සංචාරකයන් විසින් සිදුකරන ගිනිතැබීම් සහ විනෝදය සඳහා ද කැලෑ ගිනිතැබීම මීට මුල්වන බවද හෙතෙම වැඩි දුරටත් පැවසීය.

 

ශිරන්තනි මානවඩු