News

දේශපාලනය කරන්නේ අප නොව මැතිවරණ කොමිසමයි ඇමැති විමල්ගෙන් චෝදනා

‘‘අපි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන්ගෙන් ඉල්ලනවා මෙපමණ ව්‍යසනයක් සිදුව ඇති මොහොතක දේශපාලනය නතර කරන්නැයි කියලා“ යනුවෙන් විමල් වීරවංශ ඇමැතිවරයා මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියේය.

කොරෝනා ව්‍යසනයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ මුවාවෙන් දේශපාලනඥයන් තම පක්ෂ හා අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කරන බවට මැතිවරණ කොමිසමේ සභාපති නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ සඳහන් කළේය.

ඊයේ (06 වැනිදා) හෝමාගම රෝහලේ කොවිඩ් ආසාදිත රෝගී ඒකකයට වායුසමීකරණ යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමෙන් අනතුරුව වීරවංශ මහතා මෙම අදහස් පළ කළේය.

“පළමුව කිවයුතුයි, අපට කොරෝනා රෝගීන් අල්ලාගෙන දේශපාලනය කරන්න උවමනාවක් නැහැ කියලා. මට නම් පෙනෙන්නේ මැතිවරණ කොමිසම යම් දේශපාලනයක් සිදුකරන බවයි. මැතිවරණ කොමිසමේ එක් සාමාජිකයකු බී. බී. සී. පුවත් සේවයට පවසා තිබුණා මේ රට ඒකාධිපතිත්වයක් කරා යමින් තිබෙනවා කියා. එහි සභාපතිවරයා නිහඬව සිට එක්වරම සිහිනෙන් අවදිවූවා සේ මෙවැනි නිවේදන නිකුත් කරනවා. ඔවුන් පසුගිය ආණ්ඩු කාලයේ හැසිරුණු විදියයි දැන් හැසිරෙන විදියයි අපට හොඳට තේරෙනවා. අපි කුඩා දරුවන් නොවෙයි.

මේ ව්‍යවසනයෙන් මිදීමට පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් භේද නොකර සමාජයට නායකත්වය ලබා දිය යුතුයි. රාජ්‍ය නිලධාරීන්ට පමණක් මේ බර අදින්න බැහැ. මෙපමණ ව්‍යසනකාරී වෙලාවකදී අපට මේ රටේ මිනිස්සුන්ට පිහිට වෙන්න බැරි නම් මොකද්ද එතැන තිබෙන සාධාරණය. මේ මොහොතේ ජනතාවට සහන සැලසීම අපේ අයිතියක්. ඒ අයිතිය අනුව අපි කටයුතු කරනවා. එය නතර කිරීමට කිසිවෙකුට බැහැ.”