දේශපාලන පලිගැනීම් සොයාබැලීමේ කොමිසමේ ලේකම්වරිය අධිකරණයට
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරනු ලැබ සිටි දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිසමේ ලේකම් පර්ල් . කේ. වීරසිංහ මහත්මිය අද සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව ඇය අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද(11) නියම කළේය.
නීති විරෝධී ලෙස අලි ඇතුන් පස් දෙනෙකු සන්තකයේ තබා ගනිමින් ජාවාරම් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන නඩුවකට අදාල පොලිස් විමර්ශන වාර්තා දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසමට රැගෙන ගොස් ඇති බැවින් ඒවා සාක්ෂි මෙහෙයවීම සඳහා අධිකරණය වෙත භාරදෙන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඉකුත්දා නියෝග කර තිබුණි.
එහෙත් එම නියෝගය පරිදි අදාළ ලේකම්වරිය කටයුතු නොකිරීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඉකුත් 06 වනදා වරෙන්තු නිකුත් කරන ලදී.
ඒ අනුව මෙම නඩුව අද දින මෝසමක් මාර්ගයෙන් විකුම් කළුආරච්චි, ධම්මික ගනේපොල සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.
එහිදී අදාළ ලේකම්වරිය අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ නීතිඥ සෙනරත් ජයසුන්දර මහතා ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ඉල්ලා සිටින දැනට කොමිසම භාරයේ පවතින ලේඛන සියල්ල භාර දීමට තම සේවාදායකය සූදානම් බව දැනුම් දුන්නේය.
ඒ අනුව මෙම නඩුවට අදාළව දැනට පරීක්ෂණ කොමිෂන් සභාව භාරයේ පවතින සියලු ලේඛන හෙට(12) දින තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාරදෙන ලෙස අදාළ ලේකම්වරියට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඇය අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව ආපසු කැඳවන ලෙස ද නියෝග කළහ.
අත්අඩංගුට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරනු ලැබූ පුද්ගලයකුගේ වරෙන්තුවක් ආපසු කැඳවීමේ දී එම පුද්ගලයා බැඳුම්කරයක් මත මුදා හැරීම සාමාන්‍ය අධිකරණ ක්‍රියාපටිපාටිය වුවත් ජනාධිපති කොමිසමට පවතින ගරුත්වය සහ ලේකම්වරිය අධිකරණයට ඉදිරිපත් වීම යන කරුණු සැලකිල්ලට ගෙන එවැනි බැඳුම්කරයක් නියම නොකරන බවද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු විකුම් කළුආරච්චි මහතා විවෘත අධිකරණය හමුවේ සඳහන් කර සිටියේය.
උදය කුමාර
