News

නවක වදය වැඩිම නැගෙනහිර විශ්වවිද්‍යාලයේ

නවක වදයේ වැඩි වශයෙන් සිසුන් විශ්වවිද්‍යාල අතහැර ගොස් ඇත්තේ නැගෙනහිර පළාතේ දී බවත් ඔවුන් වැඩිදෙනා සිංහල සිසුන් බවත්, උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

විශ්වවිද්‍යාල තුළ සිදුවූ නවකවදය නිසා එය හැරගිය සිසුන්ට සිදුවූ කරදර සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති කොමිසමට මේ වනවිට පැමිණිලි සිය ගණනක් ලැබී ඇති බව සඳහන් වේ.

එහිදී වැඩිම පැමිණිලි ලිංගික හිංසන සම්බන්ධයෙන් ලැබී ඇති අතර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සිදු කරනු ලබන නවක වදය සම්බන්ධයෙන් පැමිණිලි ලැබීම වැඩිවී ඇත. දකුණේ විශ්වවිද්‍යාලවල සිදුවන හිංසන පිළිබඳවද වැඩි වශයෙන් පැමිණිලි ලැබී ඇති අතර, පැමිණිලි භාර ගැනීම හා සාක්ෂි ලබාදීම දිවුරුම් ප්‍රකාශ මගින් සිදුකරන බව සඳහන් වේ. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටුවා ඇති කොමිසමට නවක වදය නිසා විශ්වවිද්‍යාලය හැර ගොස් සිටින සිසුන්ට ඒ සඳහා පැමිණිලි භාරදිය හැකි බව උසස් අධ්‍යාපන ඇමැතිවරයා සඳහන් කළේය.

චමින්ද සේනාරත්න