නෙළුම් යකෙක් දැකපු එකෙක් ඇතොත් අපිට කියන්න…
අපි විවිධ යකුන් පිළිබඳව අසා ඇත්තෙමු. එහෙත් ‘නෙළුම් යකා’ පිළිබඳව අද බොහෝ දෙනෙකු අසා නොමැති බවට සැක නැත. ජල රකුස් හෙවත් උදක රාක්ෂ ගණයට අයත් බව සැලකෙන මෙම නෙළුම් යක් ප්‍රවාදය ගැන මා හා පවසා සිටියේ අපගේ ජන සංස්කෘතිය සම්බන්ධ විශේෂ දැනුමක් ඇති ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති එච්. කේ. විමලරත්නයන් විසිනි. අතීතයේ සිට හිරියාල හත් පත්තුවේ ගැමියන් තුළ නෙළුම් මලින් පිරි ජලාශ කෙරෙහි අමුතු බියක් ජනිත කළ මෙම නෙළුම් යකා පිළිබඳ තතු විත්ති සැකෙවින් මෙසේය.
මෙම නෙළුම් යකා ජීවත් වනුයේ නෙළුම් මල්වලින් පිරි ජලාශ තුළය. නමුදු නෙළුම් කොළවලින් වැසී විසීම හේතුවෙන් ඔවුහු පිටතට නොපෙනෙති. එහෙත් රාත්‍රී කාලවලදී එම ජලාශ සමීපයට යන ඇතැමුන් එම නෙළුම් යකුන්ගේ අවධානයට ලක්වන අතර, ඔවුහු එක්වරම ඒ තැනැත්තා දියඹ තුළට ඇද ගනිති. ඉන්පසු එසේ ඇදගත් තැනැත්තා පණ පිටින් ගොඩ ඒම තබා ඔහුගේ මළ සිරුරවත් දක්නට නොලැබේ. ඒ වෙනුවට රාත්‍රී කාලයන්හි ඒ අද්දරින් ගමන් කරන්නවුන් හට එම නෙළුම් විල තුළින් අද්භූත හඬවල් අසන්නට ලැබුණු බවට ද ජනප්‍රවාද ඇතැයි විමලරත්න සහෘදයා මා හා කීය. එසේම එම නෙළුම් යකුන් අරක් ගත් ජලාශ, නියං කාලවලදී වේගයෙන් සිඳී යන බවට ද ජනප්‍රවාද ඇතැයි ඔහු වැඩිදුරටත් කීය.
“කොහොම හරි මීට අවුරුදු එකසිය පනහකට විතර කලින් පිටතින් වැඩම කරපු හාමුදුරුනමක් ඔය පැත්තේ මිනිස්සුන්ට කියපු බණකින් පස්සේ ඔය නෙළුම් යකා ගැන විශ්වාසය මුළු පළාතෙම පැතිරුණා කියලයි මට ඒ කාලේ අහන්න ලැබුණේ. කෝකටත් ඔය කියන ගම් පළාත් ගැන හරියටම දැනගෙන, නරකද ඔය නෙළුම් යකාගේ කතාව ගැනත් ටිකක් හොයලා බැලුවොත්”, 2026 වසරේ මා විසින් ලියා පළ කරන ලද ‘වන්නි හත් පත්තුවේ ජන කතා – යක්ෂ දේව ප්‍රවාද’ කෘතිය කියවා අදහස් දක්වන අතරේ විමලරත්නයන් ම‘වෙතින් කළ ඒ ඉල්ලීම මට තවමත් හොඳින් මතකය.
මෙතෙක් ස්ථානීය වශයෙන් හඳුනාගෙන නැතත්, නෙළුම් විල් තුළ ජල රකුසන් සැඟවී සිටින බවට වූ විශ්වාසය ශ්‍රී ලංකාවේ පැරණි ජනප්‍රවාද හා ජනශ්රැතිවල බහුලව දක්නට ලැබේ. බෞද්ධ සාහිත්‍යයේ එන දේවධර්ම ජාතකය වැනි කතාවල ද නෙළුම් මල් පිපුණු පොකුණුවලට අරක්ගත් ‘උදක රාක්ෂයන්’ (ජල රකුසන්) පිළිබඳ සඳහන් වේ. පොකුණට බසින පුද්ගලයන්ගෙන් ප්‍රශ්න අසා නිවැරදි පිළිතුරු නොදෙන අය ගොදුරු කරගන්නා බව එම කතාවල දැක්වේ.
මෙවැනි රකුසන් අරක්ගත් බව කියන පොකුණු, නෙළුම් මල්වලින් පිරී පැවතිය ද ඒවායේ ජලය දිය බීමට හෝ කෘෂිකාර්මික කටයුතුවලට යොදාගත නොහැකි බවට මතයක් ද පැවතිණි. පිටතින් සුන්දර හා ආකර්ෂණීය වුවද ඇතුළතින් භයානක විපත් සැඟවී ඇති ස්ථාන හෝ පුද්ගලයන් හැඳින්වීමට ‘රාක්ෂයන් අධිගෘහිත පොකුණක් සේ’ යන උපමාව සිංහල සාහිත්‍යයේ භාවිත වන්නේ ද මේ පසුබිම තුළය.
කෙසේ වෙතත්, මෙවැනි ජනවිශ්වාස බිහිවීමට ප්‍රායෝගික හේතු ද තිබේ. නෙළුම් හා ඕලු වැවුණු විල්වල ජලය යට දඬු, මුල් හා වැල් ඝන ලෙස පැටලී තිබීම නිසා පිහිනීමට බසින පුද්ගලයන්ගේ පාද ඒවායේ පැටලී මඩේ එරී දියේ ගිලීමේ අවදානමක් පවතී. එවැනි අනතුරු පැරැන්නන් ජල රකුසකු විසින් ඇදගෙන යෑමක් ලෙස අර්ථකථනය කරන්නට ඇත. එසේම කිඹුලන් හා දියබරියන් වැනි ජලජ සතුන්ගෙන් දරුවන් හා ගැමියන් ආරක්ෂා කර ගැනීමටත්, ජලාශවලට අනවශ්‍ය ලෙස බැසීම හා නෙළුම් මල් විනාශ කිරීම වැළැක්වීමටත් මෙවැනි බිය උපදවන ජන විශ්වාස උපකාරී වන්නට ඇත.
මේ අතර නෙළුම් හා ඕලු වැනි ජලජ ශාක බහුල විල්, නියං කාලයේදී සෙසු ජලාශවලට වඩා වේගයෙන් සිඳී යා හැකි බවට ද පාරිසරික පැහැදිලි කිරීමක් තිබේ. නෙළුම් පත්‍ර විශාල ප්‍රමාණයක් ජල පෘෂ්ඨයෙන් ඉහළට විහිදී පවතින බැවින් ඒවා හරහා සිදුවන උත්ස්වේදනය (Transpiration) මගින් ජලය වායුගෝලයට මුදාහැරේ. සාමාන්‍ය ජලාශයක සිදුවන්නේ ප්‍රධාන වශයෙන් ජල පෘෂ්ඨයෙන් සිදුවන වාෂ්පීකරණය (Evaporation) වන අතර, ශාක බහුල ජලාශයකදී ඊට අමතරව උත්ස්වේදනය ද සිදුවේ. මේ දෙකෙහි එකතුව වාෂ්පෝත්ස්වේදනය (Evapotranspiration) ලෙස හැඳින්වේ. නෙළුම් ශාකවල දිගු නටු, රයිසෝම (Rhizomes) හෙවත් භූගත අල සහ පත්‍ර පද්ධතිය පවත්වාගෙන යෑම සඳහා ද ජලය උරා ගැනේ. මේ අනුව නෙළුම් වැනි ශාක බහුලව වැඩෙන ජලාශවල ජල හානියට ශාක ක්‍රියාකාරිත්වය ද යම් දායකත්වයක් සපයයි.
තිලක් සේනාසිංහ
සම්පුර්ණ ලිපිය කියවන්න ධරණී පුවත්පත බලන්න
