News

ප්‍රථම වතාවට කොවිඩ් 19ට ඇමරිකාවෙන් අත්හදා බැලීමේ එන්නතක්

කොවිඩ් 19 වෛරසයට එරෙහිව නිපද වූ එන්නතක් පළමුවරට මිනිසකු යොදාගෙන අත්හදා බැලීම ඇමෙරිකාවේදී සිදුකර ඇත. පෙරේදා (16 වැනිදා) අමෙරිකාවේ සියැටැල්හිදී මෙම අත්හදා බැලීම සිදුකර තිබේ.

මෙහිදී රෝගීන් සිවුදෙනෙකුට එම එන්නත ලබාදී තිබේ. ඒ අතුරින් එන්නත පළමුව ලබාදී ඇත්තේ 43 හැවිරිදි දෙදරු මවකටය. අය සියැටැල් හි නිරෝගී ස්වේච්ඡා සේවිකාවකි.

මේ මොහොතේ ​ලොව බොහෝ දෙනෙක් අසරණව උදව් අපේක්ෂාවෙන් පසුවෙනවා. ඔවුන්ට උපකාර කිරීමට මට ලැබුණු අවස්ථාව පුදුමාකාරය. මෙය සාර්ථක වී ජීවිත රැසක් බේරාගැනීමට හැකිවෙයි කියා මා සිතනවා.’ යනුවෙන් අදාළ එන්නත ලබාගත් කාන්තාව ජනමාධ්‍යට ප්‍රකාශ කර ඇත.

මෙම එන්නතට කොරෝනා වෛරසයෙන් ලබාගත් හානිදායක නොවන ජාන කේතයක් ඇතුළත් කර තිබේ. මේ වන විට එන්නත සාර්ථකව ක්‍රියාකාරී වේදැයි නිරීක්ෂණය කෙරෙන බවත් එය සාර්ථකත්වය නිශ්චය කර ගැනීමට මාස කිහිපයක් ගතවනු ඇතැයි Live Science වෙබ් අඩවිය වාර්තා කර තිබිණි.

එන්නතේ සාර්ථකත්වය පිළිබඳව කිසියම් ප්‍රතිඵල ලබාගැනීම සඳහා සතුන් අත්හදාබැලීම්වලින් තොරව මෙලෙස සෘජුවම ‘මිනිස් අත්හදා බැලීම්’ ඔස්සේ නිරීක්ෂණය කෙරෙන බව එම වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කරයි.

 

නයන තරංග ගමගේ