News

පාර්ලිමේන්තුවට දුන් සී.ඩි පහ ආපහු අරගත්තා

සභාගත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට පෙරේදා (22 වැනිදා) භාර දුන් දුරකථන සංවාද පහළොස් දහසක් අඩංගු සීඩී පට පහ නිසි පරිදි ක්‍රියාත්මක නොවන බව පවසමින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් යළි රැගෙන ගොස් ඇතැයි ආචාර්ය හර්ෂද සිල්වා ඊයේ (23 වැනිදා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පෙරේදා (23 වැනිදා) මෙම සීඩී පට පහ තමන් ඉදිරියේදී මහලේකම්වරයාට භාර දුන් බවත් ඒ සඳහා මහ ලේකම්වරයා විසින් රාමනායක මන්ත්‍රීවරයාට ලදුපතක් නිකුත් කළ බවත් හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

මෙම හඬපට තමන් ඉදිරියේදී භාර දුන් නිසා ඒ මොහොතේම සභාවට පැමිණි තමා ඒ ගැන දැනුම් දුන් බවද හර්ෂ ද සිල්වා කීවේය.

මහලේකම්වරයා විසින් භාරගත් හඬපට පහ හැන්සාඩ් දෙපර්තමේන්තුවට භාර දීමට ගෙන යද්දී ඒවා භාරදීමට අවශ්‍ය නැතැයි නීති උපදෙස් ලැබී ඇතැයිද කී හර්ෂ ද සිල්වා ඒ සීඩී පට එකක්වත් වැඩ කරන්නේ නෑ කියා රන්ජන් රාමනායක තමන්ට දැන්වූ බවද කීවේය.

පාර්ලිමේන්තුව ඊයේ (23 වැනිදා) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේදී නියෝජ්‍ය කථානායකවරයා ප්‍රකාශ කළේ රන්ජන් රාමනායක විසින් අදාළ සීඩී පට සභාගත කළ බවට මාධ්‍යවල පළ වී ඇති නමුත් එවැනි සභාගත කිරීමක් රන්ජන් රාමනායක විසින් සිදු කර නැති බවත්ය.

නියෝජ්‍ය කථානායකවරයා කළ මෙම ප්‍රකාශයෙන් පසුව සවස්වරුවේ සභාගැබට පැමිණි ආචාර්ය හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා ඉහත ප්‍රකාශය කළේය.

අජිත් අලහකෝන්