News

පෙබරවාරි 03 වැනිදා රට පුරා හේතුවක් නැතුව විදුලිය කැපිල්ලේ පාඩුව මිලියන 188යි

විදුලිබල අතිරික්තයක් තිබියදී පෙබරවාරි මස 03 වැනිදා වරින් වර විදුලිය කැපීම නිසා රුපියල් මිලියන 188ක පාඩුවක් සිදුව ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශය පත් කළ සය පුද්ගල විමර්ශන වාර්තාවෙන් පෙන්වා දී ඇත.

විදුලිබල සහ බලශක්ති ඇමැති මහින්ද අමරවීර විසින් පත් කළ සය පුද්ගල කමිටු වාර්තාව ඊයේ (26 වැනිදා) ඇමැතිවරයාට භාරදී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙම විදුලිය කැපීම සිදුකරන ලදී.

විදුලිය කැපූ පෙබරවාරි 03 වැනි දින දිවයින පුරා මෙගාවොට් 2100ක ඉල්ලුමක් පැවැති අතර සැපයුම මෙගාවොට් 2500ක් වෙයි. මෙගාවොට් 400ක අතිරික්ත විදුලි බලයක්ද තිබූ බව කමිටු වාර්තාවෙන් පෙන්වා දෙයි.

මෙම විදුලි කප්පාදුව විදුලිබල පනත සහ ලංකා විදුලිබල මණ්ඩලයේ සම්ප්‍රේෂණ බලපත්‍රයේ කොන්දේසි කඩ කිරීමක් බවද විමර්ශන කමිටුව අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.

මෙම විදුලි කප්පාදුව වළක්වා ගැනීමට හැකිව තිබූ අවස්ථාවක්ද වෙයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන මෙහෙයුම් මැදිරියේ නිසි පරිගණක ගත තොරතුරු පද්ධතියක්ද නොමැතිවීම විමර්ශනවලට බාධාවක් වී තිබේ.

විදුලිය කැපීම සම්බන්ධයෙන් ලබාදුන් වාර්තා පරස්පර බවද විමර්ශන කමිටුව සඳහන් කර ඇත. ප්‍රධාන මෙහෙයුම් මැදිරියේ ධුරාවලියක් ස්ථාපිත කළ යුතු බවද කමිටුව නිර්දේශ මගින් පෙන්වා දී තිබේ. විදුලිය දෛනිකව මිලදී ගැනීමේ ක්‍රියාවලිය විගණනයකට ලක් කළ යුතු බවද නිර්දේශවලට ඇතුළත් කර ඇත.

අඩු වියදම් විදුලි බලාගාර ඉදිකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කමිටුව නිර්දේශ කර තිබේ. මෙම විමර්ශන කමිටුවේ සභාපතිවරයා වූයේ විදුලිබල රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කේ.එච්.ඩී.කේ. සමරකෝන් වෙයි. මොරටුව විශ්වවිද්‍යාලයේ හිටපු නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය රාහුල අහලගේ, රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඊ.ඒ. රත්නශීල, මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඩී.සී. චන්දිම, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජි​නේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලලන්ත සමරනායක, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මෙම කමිටුවට ඇතුළත්ව සිටියහ.

විදුලි කප්පාදුව පිළිබඳව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවද වෙනම විමර්ශනයක් සිදුකරන ලදී. එම විමර්ශනයෙන්ද හෙළිවී ඇත්තේ මෙම විදුලි කප්පාදුව වළක්වා ගැනීමට හැකිව තිබූ බවයි.

 

උදයජීව ඒකනායක