News

මත්ද්‍රව්‍ය ජාවාරම් කළ අවු. 26ක පුද්ගලයෙක්ට මරණ දඩුවම

හෙරොයින් මත්කුඩු සහ ගංජා සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා වලට වරදකරු කෙරුණු 26 හැවිරිදි විවාහක පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසින් ඊයේ (13) මරණීය දණ්ඩනය නියම කරන ලදී.

කොළඹ, අළුත්කඩේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සිමියොන් විල්සන් නැමැති 26 හැවිරිදි විවාහක පුද්ගලයෙකුට මෙසේ දඬුවම් නියම විය.

2018 වසරේ පෙබරවාරි මස 18 වනදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් පොලිස් අලුත්කඩේ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මත්කුඩු ග්‍රෑම් 60 .73 ගංජා ග්‍රෑම් 12.18 සන්තකේ තබාගැනීම සිටියදී මොහු අත්අඩංගුට ගෙන තිබුණි. පසුව හෙරොයින් හා ගංජා සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.

තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා හෙරොයින් සහ ගංජා සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව පැමිණිල්ල විසින් ඔප්පු කර ඇති බව තීන්දු කළේය. ඒ අනුව හෙරොයින් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාවලට වරදකරු කළ විත්තිකරුට විනිසුරුවරයා විසින් මරණීය දණ්ඩනය නියම කරන ලදී. ඊට අමතරව ගංජා ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වන චෝදනා වලට එක් වසරක් බැගින් සිර දඬුවම් නියම කරන බවද විනිසුරුවරයා සිය තීන්දුවෙන් සඳහන් කළේය.

(අධිකරණ වාර්තාකරු)