මනම්පිටියේදී බසය ගංවතුරේ ධාවනය කරමින් මගීන් අනතුරේ හෙලූ රියැදුරා සහ සහයකයා රිමාන්ඩ්
පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය සහ ගල්ලෑල්ල අතර ප්‍රදේශයේ ගංවතුරෙන් යටවී තිබියදී මගීන් පිරිසක් රැගත් බස් රථයක් ධාවනය කළ බව කියන පෞද්ගලික බස් රථයේ රියැදුරා සහ එහි කොන්දොස්තරවරයා මේ මස 27 වෙනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙසට පොළොන්නරුව වැඩබල මහෙස්ත්‍රාත් සන්ධ්‍යා කරුණාසේකර පෙරේදා (21 වැනිදා) නියෝග කළාය.
අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය ,අපරීක්ෂාකාරී ක්‍රියාවකින් මරණ සිදුකිරීමට තැත් කිරීම ඇතුළු චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසිය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
රිමාන්ඩ් භාරය පත්වූයේ එම පෞද්ගලික බස් රථයේ රියැදුරු වන පොළොන්නරුව, තඹාල පාර අංක 398 ලිපිනයේ පදිංචි පොල්වත්තේ ගෙදර රුවන් පුෂ්පකුමාර යන අය සහ රිය සහායක මාතලේ මඩවල උල්පත, අංක 214 ලිපිනය පදිංචි රත්නායක රාළලාගේ අසංක ප්‍රසාද් රත්නායක යන දෙදෙනාය.
මාදුරුඔය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථය, මාර්ගය ගංවතුරට යටවී තිබිය දී මගීන් 54 දෙනෙකු රැගත් බසය ගංවතුරට ගසාගෙන ගොස් තිබියදී පොලිසිය මහත් පරිශ්‍රමයකින් පසුව, එම පිරිස බේරාගෙන ආරක්ෂිත ස්ථාන කරා රැගෙන පැමිණි බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේය.
පොළොන්නරුව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීහු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළහ.
කේඩී. කරුණාරත්න – තමන්කඩුව
