මහ මැතිවරණය මැයි අගදී
මහ මැතිවරණය මැයි මස අවසන් සතියේ දිනක පැවැත්විය හැකිදැයි යන්න තීරණය ගැනීම සඳහා අද (20 වැනිදා) ජාතික මැතිවරණ කොමිෂන් සභාව විශේෂ සාකච්ඡා වට කීපයක් පැවැත්වීමට නියමිතය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මැතිවරණ කොමිසමට පැවැරී ඇති බලතල අනුව කල් තබන ලද මහ මැතිවරණය පැවැත්වීම සඳහා එම කොමිසම විසින් දිනයක් ලබාදීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතුව ඇත.
ඒ අනුව අද දිනයේත් කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡා වටවලදී රටේ පවතින සෞඛ්යාරක්ෂිත තත්ත්වය පිළිබඳව සමාලෝචනය කොට මැයි මස අවසන් සතියේදී මැතිවරණය පැවැත්වීමට හැකිදැයි අවසන් තීරණයකට පැමිණීමට නියමිතය. මේ වෙනුවෙන් ඊයේද මූලික මට්ටමේ සාකච්ඡා වට කීපයක් පැවැති නමුත් කොමිසමේ සභාපතිවරයා නිල වශයෙන් ඒවාට සහභාගි වී නැත. යම් හෙයකින් ජූනි මස 2 වැනිදාට පෙර මහ මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් මතුවුවහොත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. මහ මැතිවරණය පැවැත්වීමේ බලය මැතිවරණ කොමිෂන් සභාව සතු බව ජනාධිපතිවරයාද දැනුම් දී තිබේ. ඒ අනුව ඇතිවන අවශ්‍යතාව සොයා බලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. මෙහිදී 1998 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නඩු තීන්දුවක් පාදක කර ගැනීමට කොමිසමේ අවධානය යොමුව ඇත.
නයන තරංග ගමගේ/උදයජීව ඒකනායක
