News

මා ඉවත් කොට මෛත්‍රි පාර්ලිමේන්තු එන්න හදනවා

තම මන්ත්‍රී ධුරය අහෝසි කර ඒ වෙනුවට මෛත්‍රිපාල සිරිසේන පාර්ලිමේන්තුවට පැමිණීමේ උත්සාහයක නිරත වන බව ඒ. එච්. එම්. ෆවුසි ‘අරුණ’ ට පැවැසීය. සිය පක්ෂ සාමාජිකත්වය සහ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ක්‍රියා කළහොත් ඊට එරෙහිව අධිකරණය හමුවට යන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

පක්ෂ සාමාජිකත්වයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කරන බවට දැනුම් දෙමින් මහින්ද අමරවීර විසින් කතානායක කරු ජයසූරියට සහ තමාට ලිපියක් යොමු කර ඇති බවද ඒ. එච්. එම්. ෆවුසි පැවැසීය.

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගෙන ඇතැයි පවසමින් මෙලෙස තමා පක්ෂ සාමාජිකත්වයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට ක්‍රියාමාර්ග ගෙන ඇති බව හෙතෙම කීවේය. තමා කිසිදු මොහොතක එවැනි සාමාජිකත්වයක් ලබා ගැනීමට කටයුතු නොකළ බවද ඔහු කියයි.

චාමර පල්ලේගෙදර