News

මැතිවරණයට බෝධි පූජාව ගෑවුණොත් මන්ත්‍රීකම අහෝසියි

ඡන්ද විමසීම් කාලසීමාවේදී ආගමික ස්ථානවල දේශපාලන රැස්වීම් පැවැත්වීම හා අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීම මැතිවරණ නීතියෙන් තහනම් වුවත් එවැනි සිදුවීම් පසුගිය කාලයේ වාර්තාවූ බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමීන් වහන්සේ දෙනම හමුවේ ඊයේ (03 වැනිදා) පැවසුවේය.

මැතිවරණ පනත උල්ලංඝනය කරමින් ආගමික ස්ථානයක මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යම් අපේක්ෂකයකු නිරත වූ බවට කවුරුන් හෝ විරෝධතාවක් ගොනුකළ හොත් ඔහුගේ හෝ ඇයගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ බලතලද පනත සතු යැයි හෙතෙම කීය.

මැතිවරණ පනතේ 79 වන වගන්තිය මගින් මේබව පැහැදිලිව දක්වා තිබෙන බව කී සභාපතිවරයා එහි පිටපතක්ද මහනායක හිමිවරුන්ට පිළිගැන්වූවේය. මල්වතු මහ විහාරයට ගිය මහින්ද දේශප්‍රිය මහතා තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව අස්ගිරි මහ විහාරයට ගොස් වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

බෝධි පූජා,දානමය පුණ්‍යකර්ම, දේව මෙහෙයන් ඇතුළු නොයෙක් ආගමික වැඩසටහන් පූජනීය ස්ථාන වල සංවිධානය කරමින් අපේක්ෂකයින් හා පක්ෂ ප්‍රවර්ධනය කිරීම පසුගිය මැතිවරණ කිහිපයේදීම සිදුවූ බවත් මෙය බෞද්ධ සිද්ධස්ථාන වල පමණක් නොව සෙසු ආගමික ස්ථාන වලද සිදුවන බවත් හෙතෙම කීය.