News

මැලේරියා හිස එසවීමේ ලකුණු

ශ්‍රි ලංකාව මැලේරියා රෝගය තුරන් කළ රටක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නම්කර තිබුනත් නැවතත් එම රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව තෙල්හිරියාව කොට්ඨාශභාර මහජන සෞඛ්‍ය පරික්ෂක බුද්ධික මල්ලවාරච්චි මහතා පැවසීය.

මැලේරියා රෝගය සම්බන්ධයෙන් හුරිගස්වැව ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරිමේ වැඩ සටහනකදි මේ බව ප්‍රකාශකල බුද්ධික මහතා වැඩිදුරටත් මෙසේද කීය.

2016 අවුරුද්දේ අපේ රට මැලේරියාව තුරන්කළ රටක් විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහතිකයක් ලබාගත්තා.

ඒත් මැලේරියාවෙන් තවමත් තර්ජනයට ලක්වෙලා තියෙන රටවල් වල අපේ ජනතාව සංචාරයේ යෙදුනාම ඒ රටවලින් අපේ රටට මේ රෝගය එන්න පුළුවන්.කෙටි කාලයක් තුළ අපේ රටෙන් මැලේරියා රෝගීන් 38ක් හදුනාගෙන තියෙනවා.

උණ,දහදිය දැමිම,සීතල,හිසරැදාව,උදරයේ වේදනාව,මාංශපේශිවල වේදනාව,ඔක්කාරය හා වමනය,පාචනය, මේ රෝගයේ ලක්ෂන විදිහට හදුනාගෙන තියෙනවා.නිසි ආකාරයෙන් ප්‍රතිකාර ලබා නොගත්තොත් මරණය පවා සිද්ධ වෙන්න පුළුවන් රෝගයක් මේක.

තඹුත්තේගම -බ්.ඩබ්.ඩ්. ධර්මකීර්ති