News

මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහි නඩු තීන්දුව ඉවතට

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස සේවයේ නියුතු ව සිටි මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට විරුද්ධව වෙස්ට්මින්ස්ටර් මහෙස්ත්‍රාත් අධිකරණය ලබා දුන් තීන්දුව ඉවතදමා තිබේ.

එක්සත් රාජධානියේ මහාධිකරණය විසින් ‘වෙස්ට්මින්ස්ටර් මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ලබා දී තිබු තීන්දුව ඉවත දමා ඇත.

2018 වසරේ පෙබරවාරි 04 වැනිදා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එල්.ටී.ටී.ඊ සංවිධානයට සහය දක්වමින් උද්ඝෝෂණයේ නිරත පිරිසකට හස්ත සංඥාකරමින් තර්ජනය කළ බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව බ්‍රිතාන්‍යයේ වෙස්ට්මින්ස්ටර් අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබුණි.

ඒ අනුව වෙස්ට්මින්ස්ටර් මහෙස්ත්‍රාත් අධිකරණය 2019 දෙසැම්බර් 06 වනදා ප්‍රියංක ප්‍රනාන්දු මහතාට විරුද්ධව චෝදනා නගා තිබුණි. මේ අනුව මහජන සාමය පනත උල්ලංඝනය කිරීමේ වරද වෙනුවෙන් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට පවුම් 2400ක දඩ මුදලක් නියම කර තිබුණි.

ඊට එරෙහිව ප්‍රියංක ප්‍රනාන්දු මහතා බ්‍රිතාන්‍යයේ මහාධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කළ අතර ඊයේ (19) දිනයේ එම අභියාචනයේ තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබීය.

මේ අනුව ප්‍රියංක ප්‍රනාන්දු මහතා සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කර ඇති බව ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේය.