News

රජයෙන් එන්න කිව්වත් වැලිඅමුණ තවම ඔස්ට්‍රේලියාවේ

රජය විසින් නැවත කැඳවා තිබුණද ඔස්ට්‍රේලියාවේ හිටපු ශ්‍රී ලංකා මහකොමසාරිස් ජේ.සී. වැලිඅමුණ මෙතෙක් ශ්‍රී ලංකාවට පැමිණ නැතැයි විදේශ කටයුතු අමාත්‍යාංශ වාර්තා අනාවරණය කරයි.

හිටපු මහකොමසාරිස්වරයා නැවත මෙරටට පැමිණ නැත්තේ නැවත කැඳවීමේ අවසන් දිනය වූ ජනවාරි 15 වැනිදා පසුවී දින 19ක් ද ගතව තිබියදීය.

නව ආණ්ඩුව විසින් පසුගිය වකවානුවේ දේශපාලන පදනමින් ලබාදුන් තානාපති ධුර සහ මහ කොමසාරිස් ධුර මෙන්ම තානාපති සේවයේ අනෙක් සියලු පත් කිරීම් අතිහිටුවීමටත් ඔවුන් වහාම සිය රට කැඳවීමටත් කටයුතු කර තිබිණි. ඒ අනුව එම සියලු පිරිස් සඳහා 2019 දෙසැම්බර් 31 දිනට පෙර ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස දැනුම් දී තිබූ අතර පසුව එම දිනය 2020 ජනවාරි 15 දක්වා දීර්ඝ කෙරිණි. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ අදාළ දැනුම් දීමට අනුව විදේශ සේවාවේ නිලධාරීන් රැසක් සියරට වාර්තා කර තිබුණද හිටපු ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා නැවත මෙරටට පැමිණ නැති බවයි. මේ බව තහවුරු කරන අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකා රුවන්ති දෙල්පිටිය පවසන්නේ මෙතෙක් ශ්‍රී ලංකාවට පැමිණි බවට විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුවත් වී නොමැති බවයි.

‘‘හිටපු මහ කොමසාරිස්වරයා නැවත කඳවා තිබෙනවා. නමුත් මේ වනතුරුත් ඔහු නැවත පැමිණ ඇති බව අපිට වාර්තා වන්නේ නැහැ. ඒ වගේම ඔස්ට්‍රේලියාවේ නව මහ කොමසාරිස් ධුරයට තවමත් කිසිවකුත් පත්කර නැහැ’’යැයි මාධ්‍ය ප්‍රකාශිකාව වැඩිදුරටත් පැවැසූවාය.

මේ අතර නැවත කැඳවා තිබුණු කැනේඩියානු මහ කොමසාරිස් එම්.ඒ.කේ. ගිරිහාගමගේ කාලසීමාව පමණක් 2020 ජනවාරි 31 දක්වා දීර්ඝ කර ඇත. අමාත්‍යාංශය සඳහන් කරන්නේ කැනඩා බලධාරීන්ගෙන් කෙරුණු ඉල්ලීමක් මත මෙලෙස මහ කොමසාරිස්වරයාගේ ධුර කාලය මසකින් දීර්ඝ කළ බවයි.

එක්සත් ජාකික පක්ෂ ආණ්ඩුව සමයේ දේශපාලන පත්වීම් ලෙසින් විදේශ සේවයට එක්වූ ඇතැම් තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් පසුගිය නොවැම්බර් මාසයේදී ආණ්ඩුව වෙනස්වීමත් සමග ඔවුන් රැඳී සිටි රටවලින් මෙන්ම වෙනත් රටවලින්ද දේශපාලන රැකවරණ ඉල්ලා සිටි බවද ‘අරුණ’ වෙත වාර්තා වේ.

නයන තරංග ගමගේ