News

Update : රාවනා 1 චන්ද්‍රිකාව කක්ෂගත කෙරේ

ශ්‍රී ලංකාවේ නාමය ගෝලීය අභ්‍යවකාශ යුගයේ සනිටුහන් කරමින් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු නිෂ්පාදනය කළ රාවනා 1 චන්ද්‍රිකාව කක්ෂගත කිරීම ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.45ට සාර්ථකව සිදුකෙරුණි.

—————————-

රාවනා 1 චන්ද්‍රිකාව අද පස්වරුවේ කක්ෂගත කෙරේ

ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු නිෂ්පාදනය කළ රාවනා 1 චන්ද්‍රිකාව අද කක්ෂගත කිරීමට නියමිතයි.

ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ කාවින්ද ජයවර්ධන මහතා පැවසුවේ මෙරට වේලාවෙන් සවස 3.45 ට කක්ෂගත කිරීමට නියමිත බවයි.

රාවනා 1 චන්ද්‍රිකාව නිෂ්පාදනය කර ඇත්තේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරීයෙකු වන තරිඳු දයාරත්න සහ තායිලන්තයේ ආසියානු තාක්ෂණ ආයතනයේ උපාධිධාරිනියක වන දුලානි චාමිකා විතානගේ විසිනි.

ජපානයේ කියුෂු තාක්ෂණික ආයතනයේ අභ්‍යවකාශ ඉංජිනේරු තාක්ෂණය හදාරමින් සිටින අතරතුර ඔවුන් එම චන්ද්‍රිකාව නිෂ්පාදනය කර තිබේ.

ඇන්ටරේස් රොකට්ටුවක ආධාරයෙන් අප්‍රේල් මස 18 වන දා රාවනා 1 අභ්‍යවකාශගත කෙරුණු අතර අප්‍රේල් 19 වැනිදා පස්වරු 6.30 ට පමණ එය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟාවිය.