News

රිය අනතුරක් කළ පාසලේ සිසුන්ට උපරිම දඬුවම් දෙනවා -මාතර රාහුල විදුහල්පති

‘‘රාහුල පා ගමනට’’ සහභාගිවීම සඳහා පැමිණෙමින් සිටියදී අනතුරට ලක්වූ තම විදුහලේ උසස් පෙළ සිසුන්ට දිය හැකි ලොකුම දඬුවම දෙන බව මාතර රාහුල විදුහලේ විදුහල්පති ෆ්‍රැන්සිස් වෙලේගේ ‘අරුණ’ට ඊයේ (08 වැනිදා) පැවැසීය.

මෙම සිසුන් පාගමනට එන අතරතුර අපරික්ෂාකාරී ලෙස රිය පදවා ඇති බවට තොරතුරු හෙළි වී තිබේ. තමන් කුමන චෝදනාවකට ලක් වුවත් වැරදිකරුවන්ට අනිවාර්යයෙන්ම එම දඬුවම ලබාදෙන බව විදුහල්පතිවරයා සඳහන් කළේය. වාර්ෂික ක්‍රිකට් තරගය වෙනුවෙන් රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද මෙම පා ගමන පෙරේදා (07 වැනිදා) සවස පැවැති අතර ඊට සහභාගිවීම සඳහා මෙම සිසුන් පිරිස ‘රෙන්ට් අ කාර්’ ආයතනයකින් වාහනයක් ලබාගෙන පැමිණ තිබේ. එසේ එන අතරමග දී අධික වේගයෙන් පැදවූ වාහනය පාලනය කර ගත නොහැකිව පෙරළී යාමෙන් මෙම අනතුර සිදුවී තිබේ. වාහනය පැදවූ සිසුවා මාතර මහ රෝහලේ සිට මේ වනවිට කරාපිටිය රෝහලට මාරුකර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පැවසීය. තවත් සිසුන් දෙදෙනක් රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබේ. ‘‘දෙමව්පියන් අනවශ්‍ය ලෙස දරුවන්ට මුදල් ලබාදෙනවා. දරුවන් මේ විදියට හැසිරෙන්නේ ඒ නිසයි. මේක දෙමව්පියන්ට වගේම සෙසු දරුවන්ටත් පාඩමක්’’ යැයිද විදුහල්පතිවරයා කීවේය. සිසුන් බැලීම සඳහා තමන් රෝහලට නොයන බවත් විදුහල්පතිවරයා තවදුරටත් පැවසීය.

නිලන්ත මදුරාවල