News

විභාග දෙපාර්තමේන්තුව ඔන්ලයින් සහතික නිකුතුව අත්හිටුවයි

මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමයට අයැදුම් කළ සහතිකපත් පන්සියයක් පමණ නිකුත් කිරීම අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුවට සිදුවී තිබේ.

තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම කටයුතු අත්හිටුවීම මීට හේතු වී ඇත.

මාර්ගගත ක්‍රමය ඔස්සේ අයැදුම් කරන විභාග සහතික අදාළ ලිපිනයන් වෙත බෙදාහැරෙන්නේ තැපැල් දෙපාර්තමේන්තුව මගින් වන අතර මේ වනවිට එම දෙපාර්තමේන්තුවද සියලු කටයුතු අත්හිටුවා ඇති හෙයින් විභාග සහතික නිකුත් කර බෙදාහැරීමට නොහැකි බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ‘අරුණ’ ට පැවසීය.

එහෙයින් මාර්ගගත ක්‍රමයට අයැදුම් කළ හැකි වුවද සහතික ලබාගත හැකි වන්නේ තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්වුවහොත් පමණක් යැයිද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීවේය.

පවතින තත්ත්වය මත මාර්ගගත ක්‍රමයට අදාළ සේවා හැර සෙසු සේවා අත්හිටුවන බව දෙපාර්තමේන්තුව ඉකුත් සතියේ නිවේදනය කළේ ඒ වනවිටත් තැපැල් දෙපාර්තමේන්තුව සිය කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීම නිසාය.

එහෙත් තමන්ගේ සියලු කටයුතු නැවත දැනුම්දෙන තුරු අත්හිටුවන බව තැපැල් දෙපාර්තමේන්තුවද ඉන්පසු නිවේදනය කිරීම නිසා විභාග දෙපාර්තමේන්තුව මෙම ගැටලු සහගත තත්ත්වයට මුහුණ දුන්නේය.

මෙම තත්ත්වය මත විභාග දෙපාර්තමේන්තුව මේ වනවිට සිදු කරන්නේ මාර්ගගත ක්‍රමයට සහතිකපත් අයැදුම්පත් භාරගැනීම හා උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග අයැදුම්පත් භාර ගැනීම පමණි. මෙම විභාග දෙක සඳහා අයැදුම් කළ හැක්කේ මාර්ගගත ක්‍රමයට පමණක් යැයි මීට පෙර නිවේදනය කර තිබිණි.

 

නිලන්ත මදුරාවල