ශවේන්ද්‍ර ගැන කිඹුල් කඳුළු හෙළන්නේ දේශපාලන වාසි ගන්නයි
ශවේන්ද්‍ර සිල්වා කියන්නේ හොඳ නිලධාරියෙක්. ඔහුට ඇමෙරිකාවට යාම තහනම් කිරීම පිළිබඳ මගේ විරෝධය දක්වනවා යැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඊයේ (18 වැනිදා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ආණ්ඩුව ශවේන්ද්‍ර සිල්වා ගැන දැන් කිඹුල් කඳුළු හෙළනවා. ඇමරිකාව පළමුව වීසා තහනම් කළේ මට. මම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රැස්වීමට ජනාධිපති එක්ක යන්න හදද්දී මගේ වීසා තහනම් කළා. ඔය කවුරුවත් ඒ ගැන දුක්වුණේ නැහැ.
ඒ වෙලාවේ මේ කිසිම කෙනෙක් කිඹුල් කඳුළු හෙළුවේ නෑ. දුක් වුණේ නෑ. දැන් ශවේන්ද්‍ර සිල්වා වර්තමාන හමුදාපති නිසා දුක් වෙනවා ශවේන්ද්‍ර සිල්වා හොඳ නිලධාරියෙක්. එයාට යන්න නොදුන් එක ගැන මමත් විරෝධය දක්වනවා.
ඒක අනිවාර්යයෙන්ම වැරදි දෙයක්. නමුත් සමස්තයක් ලෙස ගත්තාම අපි හැමෝම ඉන්නේ එකම බෝට්ටුවේ. අපිට යන්න නොදෙන කොට ජයවේවා කියනවා. දේශපාලන වාසි ගන්න ඕන වුණාම කිඹුල් කඳුළු හෙළනවා.
ඔය ශවේන්ද්‍ර සිල්වා ගැන කතා කරන්නේ රණවිරුවන්ට තියෙන ආදරේට නොවේ. දේශපාලන වාසි ගන්න යැයි ෆීල්ඩ් මාර්ෂල්වරයා කීවේය.
අජිත් අලහකෝන්
