සබීතාගේ බිල්ඩිමට ඇමැතිගෙන් නඩු
සබීතා පෙරේරාගේ සැමියාට අයත් රාජගිරියේ ඩී.පී.ජේ. ගොඩනැගිල්ල රුපියල් ලක්ෂ 230ක මාසික කුලියකට කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා ගැනීමේ ගිවිසුම සම්බන්ධව තමන් නඩු පැවරීමට කටයුතු කරන බව කෘෂිකර්ම රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක ඊයේ (23 වැනිදා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
මෙම ගොඩනැගිල්ලට අදාළව නීතිමය කටයුතු මේ දිනවල නීතිඥයන් විසින් සිදු කරන බව කී රාජ්‍ය ඇමැතිවරයා මෙම ගනුදෙනුවේදී වංචාවක්, දූෂණයක් සහ අත්තනෝමතික ක්‍රියාවක් සිදුව ඇති බව පිළිගන්නා බවද කීය. ජවිපෙ මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව කීවේය.
රාජ්‍ය මුදල් නාස්ති කිරීම් ප්‍රධාන සංකේතය වන්නේ අදාළ ගොඩනැගිල්ල බව කී අනුර කුමාර දිසානායක ඩී.පී.ජේ. ගොඩනැගිල්ලෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය ඉවත් නොවන්නේ මන්දැයි විමසීය.
ගොවි ජනතාවගේ ඇනිකට් එකක් හදන්න රුපියල් ලක්ෂ දහයක් වැය කරගන්න බැරිව, කුඩා ඇළක් ප්‍රතිසංස්කරණය කර ගත නොහැකිව ගොවියා අසරණව සිටින කාලයක කෘෂිකර්ම අමාත්‍යාංශය මසකට රුපියල් ලක්ෂ 230ක් ගෙවීම අපරාධයක් බවද අනුර කුමාර දිසානායක පැවසීය. ඊට පිළිතුරු දුන් රාජ්‍ය ඇමැතිවරයා මෙම ගොඩානැගිල්ලේ තිබූ රාජ්‍ය කාර්යාලය ඊයේ (23 වැනිදා) පෙරවරුවේ ඉන් ඉවත් කරගත් තමා අනුර කුමාර දිසානායක කාෂිකර්ම ඇමැතිවරයා සිටියදී භාවිත කළ ගොඩනැගිල්ලේ කාර්යාල කටයුතු ආරම්භ කළ බවද කීය.
අජිත් අලහකෝන්
