News

සෞඛ්‍ය කාර්යය මණ්ඩල ජීවිත අවධානමක – GMOA විශේෂ ඉල්ලීමක්

රෝහල්වල හදිසි ප්‍රතිකාර සේවා සදහා තබාගත යුතු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හැර අනෙකුත් සියලුම සෞඛ්‍ය  කාර්ය මණ්ඩල සදහා නිවාඩු ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය  කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ ජීවිත මේ වන විට දැඩි අවදානමකට ලක්ව ඇති බැවින්  ඔවුන් රෝගයට ගොදුරු වුවහොත් ඉදිරියේදී රෝගී සත්කා සේවා බිදවැටීම  නොවැලැක්වීමේ අරමුණින් මෙම ඉල්ලීම කළ බව සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

මේ වන විට වෛද්‍යවරුන් දෙදෙනෙකු රෝගකාරක වෛරසය ආසාදනය වී ඇති බවත් ඉන් එක් වෛද්‍යවරයෙක් මහජන සෞඛ්‍ය සේවාව ලබා දෙන වෛද්‍යවරයෙකු බැවින්  ඔහු සමීපයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් සැලකිය යුතු පිරිසක් කටයුතු කර ඇති බවට හෙලිව ඇතැයි වෛද්‍ය අලුත්ගේ මහතා පැවසීය.

මේ හේතුවෙන් මෙම පිරිසද අනිවාර්යෙන්ම නිරෝදායනට ලක් විය යුතු වන අතර යම් හේතුවකින් ඔවුන්ද ආසාදිතයින් බවට පත් වුවහොත් මහජන සෞඛ්‍යසේවා කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි වනු ඇතැයිද හෙතෙම පෙන්වාදේ.

 

ශ්‍රියානි විජේසිංහ