හබරණ අලි හත්දෙනා මරා ඇත්තේ නිර්වින්දන එන්නත් කළාදැයි සැක
හබරණ, තුම්බිකුලම රක්ෂිත ප්‍රදේශයේදී ඇතින්නියන් හය දෙනෙකු සහ අලියා මියගොස් ඇත්තේ නිර්වින්දන එන්නත් විදීමෙන් බවට සැක සහිත සාධක මතුවීම නිසා ඒ සම්බන්ධව පරීක්ෂණ කටයුතු පුළුල් ලෙස සිදු කෙරෙන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන්කරයි.
මෙරට වගාවලට යොදන පළිබෝධනාශක හෝ වෙනත් වස වර්ගයක්, ඇල්කොහොල් සිරුරුවල අන්තර්ගතව නොතිබූ බව දැනට සිදු කරන ලද පරීක්ෂණවලදී අනාවරණ වී ඇතැයිද එම දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග පවසයි.
හබරණ, තුම්බිකුලම රක්ෂිත ප්‍රදේශයේ ස්ථාන කීපයක ඇතින්නියන් හය දෙනෙකු සහ අලියෙකු මියගොස් සිටියදී වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉකුත් වසරේ (2019) සැප්තැම්බර් මාසයේදී සොයා ගන්නා ලදී.
මෙම ඇතින්නියන් සහ අලියා මියගොස් ඇත්තේ යම් විෂක් ශරීරගත වීමෙන් බවට ඇතිවූ සැකය මත එම පරීක්ෂණ කටයුතු රජයේ රස පරීක්ෂකවරයා වෙත භාරදෙන ලදී.
ඇතින්නියන් සහ අලියා මිය යෑමට හේතුව සෙවීම සංකීර්ණ ක්‍රියාවලියක් බැවින්, එම කටයුත්ත සඳහා විදේශ රටකින් රසායන ද්‍රව්‍ය මෙරටට ගෙන්වූ බවද රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි.
කෙසේ නමුත් මෙම මරණ සම්බන්ධ පරීක්ෂණ කටයුතු සියයට පනහක් පමණ අවසන් බවත්, ඉදිරි සති දෙක තුන තුළදී වාර්තාවක් නිකුත් කිරීමට හැකිවනු ඇතැයිද රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
සාලිය කුමාර ගුණසේකර
