නවතම ප්‍රවෘත්ති

හීන හැබෑ කරගන්න විදිය ශෂිකලා සිරිවර්ධනගෙන් අහන්න

ක්‍රීඩාව තමන්ගේ ජීවිතයම කරගත් ශ්‍රී ලාංකිකයින් අතර ශෂිකලා සිරිවර්ධන යන නමට ද ඉහළ ස්ථානයක් හිමිවෙයි. ඇය, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකාවකි. එමෙන්ම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ජනතාව අතරට ගෙන යාමට ඇය ප්‍රබල හේතුවක් විය. කාන්තා ක්‍රිකට් අද තිබෙන තත්ත්වයට ගෙන ඒමට දරදිය ඇද්දවුන් අතර ඇයට හිමිවන්නේ ද සැලකිය යුතු තැනකි. ශෂිකලා ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලීම අතහැර දැනට වසර කිහිපයක්ම ගතවී තිබේ. එහෙත්, ඇය කිසිවිටෙක ක්‍රිකට් අත් නොහැරියාය. ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසු ජීවිතය ඈ සැලසුම් කළේ ද ක්‍රිකට් ක්‍රීඩාවම පදනම් කරගනිමිනි. ඇය මේ වෙද්දී ක්‍රිකට් පුහුණුකාරිනියකි. එපමණක් නොව, ඈ සිය නවතම ක්‍රිකට් ඉනිම ආරම්භ කළේ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා හි ‘ප්ලෙන්ටි වැලි’ ක්‍රිකට් සමාජයේ පුහුණුකාරිනියක ලෙසයි.

 

සිය පියා සහ වැඩිමහල් සොයුරාගේ උනන්දු කිරීම මත 1998 දී ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි ශෂිකලාගේ සිහිනය වූයේ ජාතික කණ්ඩායම නියෝජනය කිරීමයි. ඒ කාලයේ කාන්තා ක්‍රිකට් වෙනුවෙන් තිබූ අවස්ථා අතිශය සීමිතය. පාසල්වල කාන්තා කණ්ඩායම් නොතිබිණ. ජාතික තලයේ දී පවා ක්‍රීඩිකාවන්ට අනුග්‍රාහකයින් සොයා ගැනීම, විධිමත් පුහුණුවකට ඉඩ ලබාගැනීම, නවාතැන් සහ රැකියා සොයා ගැනීම බෙහෙවින් දුෂ්කර විය. වාචික ප්‍රකාශනය අනුව මේ කට්ට හොඳටම කන්නට ශෂිකලාට ද සිදුවිය.

 

කාන්තා ක්‍රිකට් ජාතික කණ්ඩායමට පිවිසීම වෙනුවෙන් ශෂිකලා ඉතා උනන්දුවෙන් කටයුතු කළාය; වෙහෙස වූවාය; කැප වූවාය. ලෝක කාන්තා ක්‍රිකට් කවුන්සිලය (IWCC) යටතේ ලියාපදිංචි ග්වේන් හේරත්ගේ ක්‍රීඩා සංගමය මගින් පැවැත්වූ දේශීය තරගාවලිය ශෂිකලා වසර තුනක් පමණ නියෝජනය කළාය. අනතුරුව වයස අවුරුදු දහසයේදීම ඈ, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතයට එක්වීමේ අවස්ථාව ලැබුවාය. එතැන් සිට විවිධ බාධක, අභියෝග හමුවේ ඈ සිය ක්‍රිකට් ගමන ඉදිරියට ගෙන ගියේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සුබ මාවතකට යොමු කිරීමට දායක වූ වැදගත් චරිතයක් වෙමිනි.

 

2003 වසරේ මාර්තු 13 වනදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ශෂිකලා එක්දින ක්‍රිකට් වරම් ලැබුවාය. එතැන් සිට 2019 දී සමුගන්නා තෙක් එක්දින ක්‍රිකට් තරග 118 කදී ලකුණු 2029ක් ඈ රැස්කරගෙන තිබේ. ඊට අර්ධ ශතක 7ක් ඇතුළත්ය. එමෙන්ම කඩුලු 124ක් බිඳ හෙලා ඇත. එක්දින ලකුණු 1000 සහ කඩුලු 100 සම්පූර්ණ කළ ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවට මේ දක්වා ඇතුළත් වීමට සමත් වූ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ඇයයි. 2010 වර්ෂයේ සිට 2020 තෙක් පන්දුවාර 20 තරග 81 කදී ඇය ලබාගත් ලකුණු සංඛ්‍යාව 1097 කි. කඩුලු 77ක් දවාගෙන තිබේ. ජාතික කණ්ඩායමක නායකත්වය ලැබූ ලාබාලතම ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ ශෂිකලා සිව්වන ස්ථානයේ සිටී. 2013 වසරේ ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්වල සුවිශේෂ සන්ධිස්ථානයකි. එහිදී ශ්‍රී ලංකාව, එංගලන්තය පැරදවීය. සත්කාරක ඉන්දියාව පරදා, ඔවුන්ව සුපිරි හය දෙනාගේ වටයට පිවිසීමේ සිහිනයෙන් ඉවතට ඇද දැමුවේ ද ශ්‍රී ලංකාවයි. එතැන් සිට බොහෝ දෙනා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් දෙස ඇස් හැර බැලූහ. ඒ තැනට කාන්තා ක්‍රිකට් ගෙන ඒමට ශෂිකලා දැක්වූ දායකත්වය සුළුකොට තැකිය නොහැක.

රෂ්නිකා ලියනගේ
සම්පුර්ණ ලිපිය කියවන්න ධරණී පුවත්පත බලන්න