News

ෆැපරල් සංවිධානය මැතිවරණ අපේක්ෂකයන්ගේ ෆේස්බුක් පිටු අධීක්ෂණයක

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරිත්වය (ෆැපරල්) විසින් එළඹෙන මහ මැතිවරණයේදී ජනප්‍රිය දේශපාලන ෆේස්බුක් පිටු සහ දේශපාලන පක්ෂවල සහ අපේක්ෂකයන්ගේ ෆේස්බුක් පිටු අධීක්ෂණය කරන බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසීය.

පසුගිය ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් 35 ක් පමණ සිටි බැවින් නිරීක්ෂණය කළ යුතුව තිබූ ​ෆේස්බුක් පිටු ගණන සීමා වුවද, මහ මැතිවරණයේදී අපේක්ෂක සංඛ්‍යාව 4,000 ඉක්මවනු ඇති බැවින් ප්‍රධාන පක්ෂ හතරක තරගකාරී අපේක්ෂකයන්ගේ පිටු පමණක් අධීක්ෂණය කරන බව හෙතෙම පැවසීය.

මෙම අපේක්ෂකයන් අතරින් 1000 කට ආසන්න සංඛ්‍යාවක් ජයග්‍රහනය උදෙසා තරගවදින පිරිසක් වන බැවින් ඔවුන්ගේ සත්‍ය ෆේස්බුක් පිටු මෙන්ම ඔවුන් වෙනත් නම්වලින් භාවිත කරන පිටුද නිරීක්ෂණය කරන බව ඔහු කීවේය.

මෙම නිරීක්ෂණ කටයුතු සඳහා අට දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් සිටින බවත්, ඒ සඳහා විද්‍යුත් ක්‍රමවේදයක් භාවිත කරන බවත්, හෙතෙම සඳහන් කළේය.

මෙහිදී විශේෂයෙන් වැරදි පුවත් පිළිබඳ අවධානය යොමු කරනු ඇති අතර, නීතිඥයන් මාර්ගයෙන් ඒවා මැතිවරණ කොමිසමට යොමු කර මැතිවරණ කොමිසම මගින් ෆේස්බුක් කණ්ඩායමට දන්වා ඒවා වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

නාම යෝජනා ලබා දීමත් සමග මෙය ආරම්භ කිරීමට නියමිතය.

එම සංවිධානය පසුගිය වසරේ ජනාධිපතිවරණයේදී ෆේස්බුක් පිටු 11,000 කට අධික ප්‍රමාණයක් නිරීක්ෂණය කළ අතර එයින් 1,972 ක් මැතිවරණ කොමිසමට යොමු කළේය.

 

ශිරන්තනි මානවඩු