News

අඟුණකොළපැලැස්ස රැඳවියන්ට පහරදීම ගැන පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා රීට් පෙත්සමක්

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළ රඳවා සිටි රැඳවියන්ට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසට පොලිස්පතිවරයාට නියෝගයක් කරන ලෙසට ඉල්ලා අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත්ව තිබෙනවා.

මෙම රීට් පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නෙ සිරකරුවන් සුරැකීමේ සංවිධානයේ සුදේශ් නන්දිමාල් ද සිල්වා විසින්ය.

එහි වගඋත්තරකරුවන් ලෙස අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල, පොලිස්පතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා, අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය අධිකාරීවරයා සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු අට දෙනකු නම් කර තිබෙනවා.

මේ පිළිබඳව පරීක්ෂණයක් සිදු කරන ලෙසට සුදේශ් නන්දිමාල් විසින් රහස් පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණද ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා නොමැති බවයි ඔහු සදහන් කළේ.

මේ හේතුවෙන් අදාළ සිද්ධිය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.