News

අජිත් ප්‍රසන්නට එරෙහි චෝදනා පත්‍රය විභාගය මැයි 27 සිට

මාධ්‍ය හමුවක් පවත්වමින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ විභාග වන නඩු කිහිපයක් පිළිබඳව පළකරන ලද අදහස් වලින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කර විශ්‍රාමික යුධ හමුදා මේජර් සහ නීතිඥ අජිත් ප්‍රසන්න මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන චෝදනා පත්‍රය මැයි මස 27 වනදා සිට දිනපතා විභාගයට ගන්නා බව කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා  නියෝග කළේය.

මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී  වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින මෙහි විත්තිකරු වන නීතිඥ අජිත් ප්‍රසන්න මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.
එහිදී විත්තිකාර අජිත් ප්‍රසන්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළ ලේඛන සහ වීඩියෝ පට මේ දක්වා තමන් වෙත ලැබි නොමැති බව සඳහන් කර සිටියේය.
ඊට ප්‍රතිචාර දක්වමින් විනිසුරු ධම්මික ගනේපොල මහතා කියා සිටියේ මෙම නඩුවට අදාළ ලේඛන සහ වීඩියෝ පට අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා හමුවී ලබාගත හැකි බවයි.
ඒ අනුව මෙම නඩුව විභාග කිරීම සඳහා දින නියම කරන ලෙසද විත්තියේ ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීමට පැමිණිල්ල මෙහෙයවන ජේෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා ද එකඟතාව පළ කළේය.
ඉන් අනතුරුව  දෙපාර්ශවයේ එකඟතාව මත මෙම නඩුව මැයි මස 27 වනදා සිට දිනපතා විභාගයට ගන්නා බව විනිසුරුවරයා නියෝග කළේය.
ඉකුත් ජනවාරි මස 12 වනදා කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරිපිට විභාග වන නඩු කිහිපයක් සම්බන්ධයෙන් පළකරන ලද අදහස් වලින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කොට අධිකරණ සංවිධාන පනතේ 19 වන වගන්තිය යටතේ නීතිපතිවරයා විසින්කා විත්තිකාෆ අජිත් ප්‍රසන්න මහතාට එරෙහිව මෙම චෝදනා පත්‍රය කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබේ.
මෙම චෝදනාව සම්බන්ධයෙන් විත්තිකාර අජිත් ප්‍රසන්න මහතා මාසයකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරව සිටි අතර ඉකුත් නඩු දිනයේ ඔහු දැඩි කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට ද අධිකරණය විසින් නියෝග කර තිබුණි.