News

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් සම්බන්ධන්ට ‍සෙරෙප්පුවෙන් පහරදීමට උත්සහ කරයි

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් අද(03) සවස දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ දේශපාලඥයින් වෙත සෙරෙප්පුවකින් පහරදීමට උත්සහ කරනු ලැබීය.

ජනාධිපතිවරණයේදී සහ‍යෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් දැනුම්දීම වෙනුවෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මධ්‍ය කාරක සභා රැස්වීම පැවැත්වීමෙන් අනතුරුව දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා ඇතුළු පිරිස රැස්වීම පැවැත්වු ස්ථානයෙන් පිටවීමේදී සම්බන්ධන් මහතා ඇතුළු පිරිස වෙත සෙරෙප්පුවෙන් පහරදීමට අතුරුදහන්වූවන්ගේ ඥාතීන් උත්සහ කරනු ලැබීය.

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූවේ සම්බන්ධන් දෙමළ ජනතාවගේ ජන්දයෙන් පත්වි දෙමළ ජනතාවගේ ගැටළු අමතක කොට දේශපාලන වාසි ලබා ගැනීම වෙනුවෙන් රටේ ජනාධිපතිවරුන් පත් කිරීමේ උත්සහයක නිරත වන බවයි.

දෙමළ ජනතාවගේ ගැටළු අමතක කොට කටයුතු කරමින් දේශපාලන වාසි ලබා ගන්නා පුද්ගලයින් වෙනුවෙන් සෙරෙප්පුවෙන් පහරදිය යුතු බවත්, සම්බන්ධන් ඇතුළු දෙමළ නායකයින් බල්ලන්ට වඩා පහත් පිරිසක් වන බවත් අදාළ පිරිස පැවසූහ.

අතුරුදහන්වූවන්ගේ ගැටළුවට විසදුම් ලබාදෙන ලෙසට ඉල්ලීම් කිරීමට සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් හමුවීමට අතුරුදහන්වූවන්ගේ ඥාතීන් උත්සහ කළද අදාළ පිරිසට ඒ වෙනුවෙන් පොලිසිය විසින් අවසර ලබානොදිණ.

වවුනියාව – මාධව කුලසූරිය