News

අද සවස් කාලයේ දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි

දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු-මැද, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වී පසුව සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේදී වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලට පැතිරයා හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.

උතුර, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල තැනින් තැන උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ද ඇති විය හැක අතර උතුරු-මැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි. මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි.

මධ්‍යම සහ සබරගමුව පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.

මේ අතර මඩකලපුව සිට ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. බටහිර මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

හම්බන්තොට සිට පොතුවිල්, ත්‍රිකුණාමලය,කන්කසන්තුරයසහ මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 30-40 පමණ වනවා.

සෙසු මුහුදු ප්‍රදේශවල සුළංනිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 15-30 පමණ වනවා.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං(පැ.කි.මී 70-80 පමණ) ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩදුරටත් සදහන් කළේ.