News

අනුෂ-ලලිත් අභියාචනය මාර්තු සිට විභාගයට ගැනේ

සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරු වී වසර තුනක සිර දඬුවම් ලබා සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට විසින් දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය මාර්තු 08 වනදා සිට විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියම කළේය.

විනිසුරුවරයා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරුන්ට නියම කර ඇත්තේ මෙම අභියාචනාවලට අදාළ ලිඛිත දේශන පෙබරවාරි මස 05වැනිදා හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙසටය.

එම නඩුව සම්බන්ධයෙන් වරදකරු වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්ට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් හා රුපියල් මිලියන 50ක වන්දියක් නියම කර තිබේ.

තමන්ගේ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන අය අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.