අපේක්ෂකයන් ඇත – ප්‍රතිපත්ති නැත
ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 34කි. නාමයෝජනා භාරගැනීම සිදුවී සතියක කාලයක් ඉක්ම ගොස් තිබේ. ජනාධිපතිවරණයට 35 දෙනකු තරග වැද සිටියත් එක් අයකු හැර අන් කිසි අපේක්ෂකයෙක් තවමත් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වා නැත. එසේම තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වන්නේ කවදාදැයි දින වකවානු හෝ ප්‍රකාශ කර නැත.
නිවසක් ඉදි කෙරෙන්නේ අත්තිවාරමක් මතය. ඒ සඳහා ප්‍රථමයෙන් කෙරෙන්නේ සැලසුමක් ඇඳීමය. සැලසුමට අනුව ඉදිවන නිවස ගැන අපට යම් අදහසක් ලබාගත හැකිය. දිග, පළල, කාමර ගණන ආදී වශයෙනි. මැතිවරණයකදී පක්ෂයක හෝ අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයද නිවසක සැලසුමට සමානය. බලයට පත්වන නායකයාගේ හෝ පක්ෂයේ පාලනය කෙසේ වනු ඇත්දැයි ඔවුන් බලයට පත්වීමට පෙරම අදහසක් ලබාගත හැක්කේ එකී ප්‍රතිපත්ති ප්‍රකාශය මගිනි.
නොවැම්බර් මස 16දා පැවැත්වෙන ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 35 දෙනකු ඉදිරිපත්ව සිටියත් ඒ සියලු දෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශවලින් රටට වැඩක් නැත. රට බලා සිටින්නේ ගෝඨාභය, සහ සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදක්වන තුරුය. ඉතිරි අපේක්ෂකයන්ගෙන් ප්‍රතිපත්ති ප්‍රකාශය වැදගත් වේ යැයි කල්පනා කළ හැක්කේ අනුර කුමාරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පමණකි. ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන උනන්දුවක් තිබුණත් එය ජයග්‍රාහී ප්‍රතිපත්ති ප්‍රකාශයක් වනු ඇතැයි බහුතරයකගේ විශ්වාසයක් නැත.
කෙසේ වෙතත් මේ තිදෙනාත් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට පත්වන්නේ කවදාදැයි කියන්නේ නැත. ඉන් කියැවෙන්නේ ඔවුන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තිබූ හදිසිය ප්‍රතිපත්ති සකස් කිරීමට නොමැති බවද? එය එසේ නම් මෙරට ඡන්දදායකයා ඒ ගැන බරපතළ ලෙස කල්පනා කළ යුතුය. ජනාධිපතිවරණයට සීමිත දින ගණනක් පමණ ඉතිරිව තිබියදීත් තම තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ අවසන් කරගන්නට නොහැකි නම් අවසන් මොහොතේ කලඑළියට එනු ඇත්තේ කලබලයට සකස් කළ එකක් විය නොහැකිද?
ඇතැම් විටෙක තම තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදැක්වීමට මෙතරම් ප්‍රමාද වන්නේ තම ප්‍රතිවාදියාගේ ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදකින තුරු කල්මැරීම නිසා විය හැකිය. ප්‍රතිවාදියාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ අඩංගු වන ආකර්ෂණීය කාරණාවලට සරිලන යමක් තමන්ගේ එකට ඇතුළත් කරන්නට, නැතහොත් තමන්ට මගහැරුණු යමක් ප්‍රතිවාදියාට විෂය වී ඇත්දැයි දැන ගන්නට ආදී වශයෙන් තමන්ගේ අඩුපාඩු සපුරා ගන්නට මේ අපේක්ෂකයන් කල්පනා කරනවා විය හැකිය.
එහෙත් ඉදිරි වසර 5ක කාලයකට මේ රටේ රාජ්‍ය නායකයා වන්නට සිටින ජනාධිපති අපේක්ෂයෙක් ප්‍රතිවාදියාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය දෙස බලා තමන්ගේ එකට පැලැස්තර දමන තරමේ දුර්වලයකු නොවිය යුතු බව අපගේ අදහසය. තමන්ගේ ප්‍රතිපත්ති සකස් වන්නේ ජාතික සංවර්ධනය ඉලක්ක කරගෙන පදනමක් සහිතව බව අවංකව විශ්වාස කරන්නේ නම්, එය ජනතාව අතරට ගෙන යෑමට බිය වන්නේ කුමටද?
ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදක්වා නැතත් බොහෝ ජනපති අපේක්ෂකයෝ රට වටා යමින් ජනතාවට ආමන්ත්‍රණය කරමින් සිටිති. ඔවුන් මේ රැස්වීම්වලදී ජනතාව අමතා කියන්නේ ඔවුන්ගේ ප්‍රතිපත්තිද, නැතහොත් රැස්ව සිටින තම පාක්ෂිකයා ප්‍රමෝදයට පත්කරන කියමන් පමණක්ද? අපට පෙනී යන අන්දමට නම් ඔවුන් මේ රැස්වීම්වලදී කතා කරන්නේ එහි රැස්ව සිටින පාක්ෂිකයා ඉලක්ක කරගෙන, ප්‍රදේශ ඉලක්ක කරගෙනය.
අපේ ඡන්ද දායකයා ඡන්දය දෙන්නේ ප්‍රතිපත්ති දෙසම බලා නොවන නිසා ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ ප්‍රමාදය ගැන වධවන්නේ කුමකටදැයි ඇතැමෙකුට සිතෙන්නට බැරි නැත. එහෙත් අප වෙනස් කරගත යුත්තේද මේ දේශපාලන භාවිතාවය. එනම් ඡන්දදායකයා ප්‍රතිපත්ති වෙනුවට පොරොන්දු මත ඡන්දය දීමේ පුරුද්දය. ඒ සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කර ඒවා සංවාදයට ලක්කිරීම ඉතා වැදගත් වේ.
තවත් කාරණයක් තිබේ. සෑම පක්ෂයකටම නිශ්චිත වූ වෙනස් නොවන ඡන්ද ප්‍රමාණයක් (Block Vote) ඇත. එහෙත් එම පක්ෂයේ හෝ එහි අපේක්ෂකයාගේ ජයග්‍රහණය තහවුරු කරනු ඇත්තේ එම ස්ථිර ඡන්ද නොව, අතරමැද හෝ පාවෙන ඡන්දය. බොහෝවිට මේ පාවෙන ඡන්ද තීරණය වන්නේ අපේක්ෂකයාගේ ජනප්‍රිය භාවය මත නොව ප්‍රතිපත්ති මතය.
මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති දැන ගැනීම අත්‍යවශ්‍ය වන තවත් කාරණයක් ඇත. නොවැම්බර් 16 දා පැවැත්වෙන මේ ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින සියලු අපේක්ෂකයන් හැඳින්විය හැක්කේ නවක අපේක්ෂකයන් ලෙසය. ඔවුන් කිසිවකු හෝ මීට පෙර ජනපති ධුරය දරා නොමැති අතර අගමැති ධුරය හෝ දරා නැත. එසේම බොහෝදෙනකු දේශපාලනයටද නවකයන්ය. එවැනි අපේක්ෂකයකු වන ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් වන්නේ අලුත් පක්ෂයකින්ය. එම පක්ෂයේ නායක කාරකාදීන් රට පාලනය කර ඇතත් නව පක්ෂය ආණ්ඩු බලය දරා නැත. සජිත් ප්‍රේමදාස එජාපයේ නියෝජ්‍ය නායකයා වුවත් ඔහු කියන්නේ තමන්ගේම වූ ප්‍රතිපත්තිවලට අනුව රට කරන්නට අදහස් කරන බවය. අනුර කුමාර දිසානායක ජවිපෙ නායකයා වුවත් ඔහු තරගයට ඉදිරිපත්ව සිටින්නේ ජවිපෙ දේශපාලනයට වඩා වෙනස් වූ සිවිල් සංවිධාන ගණනාවක අපේක්ෂකයා ලෙසිනි. එනිසා මේ තිදෙනාම වුවත් ඔවුන් නියෝජනය කරන පක්ෂවල ප්‍රතිපත්ති අනුව නිශ්චය කරගැනීම අසීරුය.
මේ තිදෙනාගේ ප්‍රතිපත්ති ගැන දැනගෙන ඒවා ගැන වාද විවාද කර තීරණයක් ගන්නට ඡන්දදායකයාට ඇත්තේ කෙටි කාලයක් පමණකි.
