News

අපේ රටේ අද දේශපාලඥයෝ ඕනතරම් ඉන්නවා. නමුත් නායකයෝ නැහැ – රවී

වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ දේශපාලනඥයින් සිටින නමුත් නායකයන් නොමැති බව විදුලිබල බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ ඊයේ (03) පෙරවරුවේ මිලාගිරිය ශාන්ත පාවුලු විද්‍යාලයේ පැවති ත්‍යාග ප්‍රධානෝත්සවයකට සහභාගි වෙමිනි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

“අපේ රටේ අද දේශපාලඥයෝ ඉන්නවා. නමුත් නායකයෝ නැහැ. මේක කණගාටුවට කරුණක්. නායකයෝ හිතන්නේ තමාගැන නෙමෙයි රට ගැනයි. ඩී.එස් .සේනානායක, ජේ.ආර්. ජයවර්ධන, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක, ලලිත් ඇතුළත්මුදලි අන්න ඒ වගේ අය තමයි මේ රටේ හිටිය සැබෑ නායකයෝ. නමුත් දැන් අපේ ලංකාවේ දේශපාලන රාමුව වෙලා තිබෙන්නේ අම්මාගෙන්, තාත්තාගෙන් පැවතගෙන එන පවුල් දේශපාලනයක්. සහජ හැකියාවෙන් ඉදිරියට යාමක් අද නැහැ. අපි රැකිරක්ෂා ගැටළුවට විසදුම් සොයන්න අවශ්‍යනම්, අපේ ආර්ථිකය ඉදිරියට ගෙනියන මාර්ග සැකසිය යුතුයි. අපේ ආදායම් මාර්ග වැඩි කරනවා කියන්නේ, රජයෙන් ණයට හැමදෙයක්ම දෙන එක නෙමෙයි, දැනුවත්කම වර්ධනය කරන එකයි අවශ්‍ය වන්නේ. අපේ රටේ ලොකුම ප්‍රශ්නය තමයි නායකත්වයට තිබෙන පළපුරුද්ද. අපේ රටේ නිලධාරීන්ට හිතන්නත් බැරි තත්ත්වයක ඉදගෙන කොහොමද පළපුරුද්දක් ගැන හිතන්නේ. මේවගේ දේවල් තමයි අපි නවීකරණය කරන්න ඕන.රැඩිකල් වෙනසක් ඇති කළ යුතුයි. අළුතින් සිතිය යුතුය. මේක තමයි ඇතිකළ යුතු වෙනස”