News

අයි.ඩී.එච්. වගේ රෝහලක් වැලිකන්දේ

කොවිඩ් 19 වෛරසය ආසාදනය වන රෝගීන් ඇතුළත් කිරීම සඳහා අයි.ඩී.එච්. රෝහල වෙනුවට වැලිකන්ද ප්‍රදේශයේ අලුතින් ​රෝහලක් ඉදිකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යුද හමුදාවට උපදෙස් ලබා දී ඇත.

මේ අනුව කොවිඩ් 19 වෛරසය ආසාදනය වූවන් ඇතුළත් කිරීම සඳහා (16 වැනිදා) වන විට අලුතින් රෝහලක් ආරම්භ කිරීමට කටයුතු යෙදූ බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ‘අරුණ’ට පැවැසීය.

මින් ඉදිරියට නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවන කොවිඩ් 19 ආසාදිතයන් අයි.ඩී.එච්. ​රෝහල වෙත නොයැවීමට තීරණය කර ඇත.

එම ​රෝහලේ ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැතිවීම නව රෝහල ස්ථාපිත කිරීමට හේතුවී ඇත.

මෙතෙක් කොවිඩ් වෛරසය ආසාදනය වූ දහඅට දෙනාගෙන් එකොළොස් දෙනෙකුම කන්දකාඩු ඇතුළු නැගෙනහිර නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වූ අතර ඔවුන්ගෙන් බහුතරයක් අයි.ඩී.එච්. රෝහලට යොමු කෙරිණි.

අලුතින් ඉදිවන රෝහලේ හතළිස් හතරදෙනෙකුට ප්‍රතිකාර කළ හැකි බව ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවැසීය.

 

තිස්ස රවින්ද්‍ර පෙරේරා