‘අලි බාබා’ ගෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10කට පරිත්‍යාග
ලොව විශාලතම අන්තර්ජාල භාණ්ඩ සැපයුම්කරුවා වන අලි බාබා පදනමේ නිර්මාතෘ ජැක් මා විසින් කොවිඩ්-19 වෛරසයට එරෙහි සටනට සහාය වීම සඳහා ශ්‍රී ලංකාව ඇතුළු ආසියාවේ තවත් රටවල් 10ක් සඳහා වෛද්‍ය සැපයුම් පරිත්‍යාග කිරීමට සූදානම් බව ප්‍රකාශ කර ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාවට අමතරව ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, කාම්බෝජය, ලාඕසය, මාලදිවයින, මොංගෝලියාව, මියන්මාරය, නේපාලය සහ පාකිස්ථානය යන රටවලට අලි බාබා පදනම ඔස්සේ පරිත්‍යාග හිමිවීමට නියමිතය.
මුඛ ආවරණ මිලියන 18ක්, කොවිඩ්-19 පරීක්ෂණ කට්ටල 2,10,000ක්, ආරක්ෂිත ඇඳුම් 36,000ක් සහ උෂ්ණත්වමාන ඇතුළු වෛද්‍ය උපකරණ රැසක් මෙම පරිත්‍යාගවලට ඇතුළත්ය.
ලොව විශාලතම ඉලෙක්ට්‍රොනික වෙළෙඳ බෙදාහැරීම් ජාලය සතු අලි බාබා සමාගම විසින් පවත්නා ප්‍රවාහන අභියෝග ජය ගනිමින් ආසියානු කලාපයේ සෞඛ්‍ය අවශ්‍යතා අවැසි සෑම ස්ථානයකටම මෙම වෛද්‍ය උපකරණ බෙදාහරින බවද ජැක් මා ප්‍රකාශ කර තිබේ.
අලි බාබා පදනම විසින් පසුගිය සතියේදී මැලේසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය සහ පිලිපීනය යන රටවලටද වෛද්‍ය සැපයුම් පරිත්‍යාග කර තිබිණි.
නයන තරංග ගමගේ
