News

අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් 8දෙනාට එරෙහි නඩුවේ මූලික විරෝධතාවය පිළිබද නියෝග නොවැ. 14 වැනිදා

බලපත්‍ර නොමැතිව අලි ඇතුන් පස් දෙනෙකු සන්තකයේ තබා ගනිමින් ජාවාරම් කළ බවට චෝදනා ලැබ සිටින සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුව විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙස විත්තිය විසින් මතු කර තිබෙන මූලික විරෝධතාවය පිළිබඳ නියෝගය නොවැම්බර් මස 14 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද (22) නියෝග කරන ලදී

මෙම නඩුව අද විකුම් කළුආරච්චි, ධම්මික ගනේපොල සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය කරන ලදී.

මීට පෙර විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මූලික විරෝධතාවක් මතුකරමින් මෙම විත්තිකරුවන්ට එළ්ල කර තිබෙන චෝදනා නිශ්චිතව දක්වා නොමැති බව සඳහන් කර සිටියහ.. චෝදනාවට පාදක වන දින වකවානු, වරද සිදුකළ බව කියන ස්ථාන නිශ්චිතව චෝදනා පත්‍රයේ සඳහන් කර නොමැති හෙයින් එම චෝදනා පත්‍රය නීතිවිරෝධී බවත් එය විභාග කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට බලයක් නොමැති බවත් පෙන්වා දුන් විත්තියේ නීතිඥවරු එබැවින් අදාළ චෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කරන ලෙසද සිය මූලික විරෝධතා ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියහ.

ඊට ප්‍රතිචාර දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා විත්තිකරුවන්ට චෝදනා ගොනු කිරීම නීත්‍යනුකූල ආකාරයට සිදුව ඇති බවත් විත්තිය විසින් ඉදිරිපත් කරනු ලබන මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කර නඩුව විභාගය සඳහා දින නියම කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාව පිළිගන්නවාද? නැද්ද ?යන නියෝගය නොවැම්බර් මස 14 වනදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළහ.

බලපත්‍ර නොමැතිව අලි ඇතුන් පස් දෙනෙකු සන්තකයේ තබා ගනිමින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබුණි. මෙම නඩුවේ විත්තිකරුවන් අතර වනජීවී දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂවරයකු වන උපාලි පද්මසිරි සහ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ ලේඛනය භාරව කටයුතු කළ ලිපිකාරිනිය වන ප්‍රියංකා සංජීවනී යන අය ද ඇතුළත්ව සිටිති.

අධිකරණ වාර්තාකරු