News

අලුගෝසු තනතුරට අයැදුම්පත් 45ක් – විදේශීය ජාතිකයෙකු බඳවා ගැනීමට අවධානය යොමු වෙයි

අලුගෝසු තනතුර සඳහා අයැදුම්පත් 45ක් පමණ ලැබී ඇතැයි බන්ධනාගාර අමාත්‍යංශය පවසනවා.

අදාළ අයැදුම්පත් පරීක්ෂාව අද සිට ආරම්භ කරන බවයි එම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ.

ඉන් අනතුරුව සම්මුඛ පරීක්ෂණ කඩිනමින් ආරම්භ කෙරෙනු ඇති.

මේ අතර මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අලුගෝසු තනතුර සඳහා විදේශීය ජාතිකයෙකු බඳවා ගැනීමට අවධානය යොමු වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව මීට පෙර ප්‍රකාශ කළා.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ අලුගෝසු තනතුර සඳහා විදෙස් ජාතිකයෙකු බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවයි.

මත්ද්‍රව්‍ය චෝදනාවලට වරදකරුවන් වී මරණ දඬුවම නියම වූ රැඳවියන්ගේ නම් ලැයිස්තුව, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය විසින් නීතිපතිවරයාගේ නිර්දේශ ද සහිතව ජනවාරි 25 වන දා ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදී තිබෙනවා.

එම ලැයිස්තුවට අනුව මරණ දඬුවම නියමව ඇති රැඳවියන් සංඛ්‍යාව 17කි.

ශ්‍රී ලංකාව තුළ අවසන් වරට මරණ දඬුවම ක්‍රියාත්මක වී ඇත්තේ 1976 වසරේදීයි.

ඒ, වැලිකඩ බන්ධනාගාරයේදීයි.

එහිදී චන්ද්‍රදාස නමැත්තෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබෙනවා.