News

අසූචි තැවරුණු බිත්තර යොදා කේක් නිෂ්පාදනය කළ බේකරියක් වටලයි

පළුදු සහ කුකුල් අසූචි තැවරුණු බිත්තර යොදා ගෙන කේක් නිෂ්පාදනය කළ බේකරියක් වැටලීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.

හලාවත නගරය තුළ මෙම බේකරිය පවත්වා ගෙන ගොස් ඇත. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම බේකරියේ තිබී පළුදු සහ කුකුල් අසූචි තැවරුණු බිත්තර 400 ක් සොයා ගෙන ඇත.ඉන් බිත්තර 100 ක් අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා තම බාරයට ගෙන ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉතිරි බිත්තර 300 විනාශ කර දැමීමට කටයුතු කරන ලදි.

රුපියල් 7.00 බැගින් පළුදු බිත්තර මිළදී ගන්නා අතරමැදියෙකු විසින් රුපියල් 10.00 ක් වන මුදලකට බේකරිය සදහා අලවි කිරීම සිදු කර ඇති බව ව්‍යාපාරිකයාගෙන් ප්‍රශ්ණ කිරීමේදී අනාවරණය වී ඇත.

පළුදු වී ඇති ස්ථාන වලින් විෂ බීජ බිත්තරය තුළට ඇතුළතු වන බවත් ඒ තුළින් විවිධ රෝගාබාධා ඇති විය හැකි බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සදහන් කරයි.

බේකරි හිමියාට දැඩි ලෙස අවවාද කර ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඔහුව ඇප මත මුදා හැර ජනවාරි මස 03 වැනිදා හලාවත මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කර ඇත. හලාවත පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කුලරත්න අතපත්තු මහතා ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මෙම වැටලීම සිදු කර ඇත.

ජුඩ් සමන්ත