News

ආබාධිතයන් 400ක් සියදිවි නසාගෙන

ආබාධිතයන් 400ක් සියදිවි නසාගෙන

ආබාධ සහිත පුද්ගලයන් 400දෙනකු එම ආබාධ තත්ත්වයත් සමග ඇති වූ මානසික පීඩාව හේතුවෙන් සියදිවි හානි කරගෙන ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2019 වසරේ සමීක්ෂණ වාර්තාවක සඳහන් වෙයි.

මෙම පුද්ගලයන් අතුරින් 350 දෙනකු පිරිමින් වන අතර 50 දෙනකු ගැහැනු වෙති.

2019 වසරේ දී පමණක් පුද්ගලයන් 3135 දෙනකු සියදිවි නසා ගෙන ඇති අතර ඉන් බහුතරයක්ම පිරිමි පුද්ගලයන් වෙයි.

මෙම පුද්ගලයන් අතුරින් පවුල් ආරවුල්, ප්‍රේමි සබඳතා බිඳ වැටීම් සහ ගෘහස්ථ හිංසනය විඳ දරා ගත නොහැකිව 650 දෙනකු සියදිවි හානි කරගෙන ඇති බව හෙළිවේ.

එමෙන්ම මානසික ආබාධ සහ මානසික පීඩන ඉවසා ගත නොහැකිව එම වසරේදීම පුද්ගලයන් 272 දෙනකු සිය දිවි හානි කර ගෙන ඇති අතර ඉන් 208 දෙනකුම පිරිමි පුද්ගලයන්ය. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 141 දෙනකුද එම වසරේ සියදිවි හානි කර ගෙන ඇති අතර දෙදෙනකු කාන්තාවෝ වෙති.

මෙම දත්ත වාර්තාවලින් ආනවරණය වන ආකාරයට පුද්ගලයන් 1917 දෙනකුම මිය ගොස් ඇත්තේ ගෙල සිරකර ගැනීමෙනි. එමෙන්ම කෘමිනාශක පළිබෝධනාශක සහ වස පානය කර පුද්ගලයන් 706 දෙනකු සියදිවි හානි කර ගෙන තිබේ. ගංගා ජලාශවලට පැනීමෙන් පුද්ගලයන් 105 දෙනකු සිය දිවි හානි කරගෙන ඇති අතර දුම්රියට පැනීමෙන් පුද්ගලයන් 123 දෙනකු මෙලෙස ජීවිතය හැර ගොස් තිබේ.

අශිකා ජයවීර