News

ආයතනවල සේවකයන් ගණන වැඩි කරයි

බ්‍රිතාන්‍යයේ සමාගම්වලින් අඩකට වැඩි ප්‍රමාණයක් සිය සේවක සංඛ්‍යාව වැඩි කිරීමට අදහස් කර සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඉදිරි මාස තුන ඇතුළතදී එය ක්‍රියාවට නැංවීම ඔවුන්ගේ අදහසය. එරට කළ සමීක්ෂණයකට අනුව ආයතන 2000 කින් 56% කගේම අරමුණ වී ඇත්තේ 2021 පළමු කාර්තුව තුළ දී සිය කාර්ය මණ්ඩලවල ධාරිතාව ඉහළ නංවා ගැනීමය.

මේ අතරින් බහුතරයක්ම නියෝජනය වන්නේ සෞඛ්‍යය, මූල්‍ය, රක්ෂණ, අධ්‍යාපන, පරිගණක තොරතුරු තාක්ෂණ අංශවලිනි.

පර්‌යේෂකයන් ප්‍රකාශ කරන ආකාරයට මෙය වසරක් තුළ රැකියා ක්ෂේත්‍රයේ වාර්තාවන ඉහළම ප්‍රතිශතයයි. පසුගිය මාස තුනක කාලය හා සසඳන විට ඇතැම් ආයතනවල සේවක අතිරික්තය 30% සිට 20% දක්වා පහළ බැස ඇත.

බ්‍රිතාන්‍ය ජාතික සංගණන ආයතනයේ වාර්තාව අනුව එහි අලුත්ම රැකියා වියුක්තිකයන්ගේ ප්‍රතිශතය 2020 සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා සියයට පහකි. එය පසුගිය තෙමස හා සැසඳී‌මේදී 0.6% ක ඉහළ යාමක් වේ. එහි තේරුම බ්‍රිතාන්‍යයන් අතරින් මිලියන 1.72 ක්ම රැකියා විරහිතයන් වී සිටින බවය.

වසන්ත විජේරත්න