News

ඇඟලුම් සේවකයන් ලක්ෂ පහක වැටුප අවදානමේ

කොවිඩ්-19 වෛරසය හේතුවෙන් නිදහස් වෙළෙඳ කලාපවල හා ඉන් පිටත ඇඟලුම් කම්හල් අටසියයක පමණ සේවකයන් ලක්ෂ පහකට වැඩි සංඛ්‍යාවක් වැටුප් නොගෙවීමේ තර්ජනයට මුහුණ දී සිටින බව වාර්තා වේ.

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පුරෝකථනය කරන්නේ පසුගිය මූල්‍ය වර්ෂයට සාපේක්ෂව 2020 ජුනි මාසයෙන් අවසන් වන මාස 3 ක කාලය තුළ ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනය ඇමරිකානු ඩොලර් බිලියන 1.5 කින් ක්ෂණිකව අඩු වනු ඇති බවයි. එසේම එළඹෙන ජූනි මාසයෙන් අනතුරුවද ලැබෙන ඇනවුම් සීමාසහිත වීමෙන් මෙරට ඇඟලුම් අපනයනය සියයට තිහක් හතළිහක් අතර ප්‍රමාණයකින් අඩුවනු ඇති බවත් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පවසයි. මේ අතර සේවක වැටුප් අප්‍රේල් මාසය සඳහා ඔවුන්ගේ බැංකු ගිණුම්වලට ප්‍රේෂණය කරන ලෙසත්, කර්මාන්ත ශාලා දිගටම වසා දැමුවහොත් මෙම ක‍්‍රමවේදය දිගටම අනුගමනය කරන ලෙසත් වෘත්තීය සමිති විසින් සේවා යෝජකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. විදේශ රැකියා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැති ත්‍රෛපාර්ශ්වික කාර්ය සාධක බලකායේ රැස්වීමේදී මෙම අභියාචනය ඉදිරිපත් කර ඇති බව නිදහස් වෙළෙඳ කලාප සහ සාමාන්‍ය සේවා සේවක සංගමයේ ඒකාබද්ධ ලේකම් ඇන්ටන් මාකස් පවසයි.

කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තවීම හේතුවෙන් කර්මාන්තශාලා වසා දමා ඇති කාල සීමාව සඳහා වැටුප් ගෙවිය යුතු බව කාර්ය සාධක බලකාය එකඟතාවයකින් යුතුව තීරණය කළ බවද හෙතෙම සඳහන් කරයි.

නයන තරංග ගමගේ