ඇඟ වැහෙන්න අඳින්නෙ ගොඩේකමටද ?
*ඉතින් උරේෂා මේ දවස්වල වැඩකටයුතු කොහොමද?
නුදුරේදීම මගේ අලුත් ගීතය එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ නිසා ගීතයේ වැඩකටයුතු වගේම පොද්ගලික ජීවිතයේ වැඩකටයුතුත් එක්ක මේ දිනවල ටිකක් කාර්යබහුලයි.
*අලුත් ගීතය ගැනත් කියමුද?
ගීතයේ නම ‘මට ද ආලේ’. ඒ ගැන වැඩි විස්තර ගීතය ආවට පස්සේම දැනගමු නේද?
*උරේෂාව බොහෝදෙනෙක් හඳුනාගත්තේ ‘උන්නා එක ගංගාවක’ ගීතය හරහා නේද?
ඔව්. චිත්‍රපට ගීතයක් වුණ ඒ ගීතය ගොඩක් අය හිතුවේ මගේ පළවැනි ගීතය කියලා. ඒ ගීතය මගේ පළවැනි ගීතය නොවුණත් උරේෂා රවිහාරි කියන නම මිනිස්සු අතරට ගියේ ඒ ගීතයත් එක්කයි.
*එතකොට ඔබේ පළමු ගීතය?
පළමු වරට කියලා ගයපු එක ගීතයක් නැහැ. ගුවන්විදුලි සංස්ථාවේ ළමා පිටියේ වගේම චිත්‍රපට ගීතවලත් ගායනා කරන්න අවස්ථාව උදාවුණා.
*ඒ විදියට ගායන ක්ෂේත්‍රයෙන් ඉදිරියට එන්න ඔබට පවුල් පසුබිමත් බලපෑවා නේද?
ඔව්. මගේ තාත්තා ප්‍රවීණ රූපවාහිනී හා ගුවන්විදුලි නිවේදක, ගී පද රචක ධර්ම ශ්‍රී වික්‍රමසිංහ. අම්මා ගෘහිණියක් වුණත් ඇයටත් කලා ආභාෂය තිබුණා. ඇය චන්ද්‍රා වික්‍රමසිංහ. ඉතින් අම්මාගේ තාත්තාගේ සංගීත ආභාසය මට වගේම මල්ලිටත් බලපෑවා.
*එතකොට ගායිකාවක් වීම ඔබ පුංචි කාලෙ ඉඳලම දැක්ක හීනයක් ද?
ඒක ඇත්තටම මගේ හීනයකටත් වඩා මගේ අම්මාගෙයි තාත්තාගෙයි හීනයක්. හැබැයි මම මුලදී යොමුවෙලා හිටියේ වාදන ක්ෂේත්‍රයට. ඒ කාලේ අපේ ගෙදර සුජාතා අත්තනායක මහත්මියගේ සංගීත පාසලක් පැවැත්වුණා. මමත් ඒ සංගීත පාසලේ වාදන කටයුතුවලට සම්බන්ධ වුණා. ඒ අතරේ එහි පවත්වපු හඬ පරීක්ෂණයකින් සමත්වෙලා මට ගුවන්විදුලි සංස්ථාවේ වගේම ප්‍රසංගවලත් ගීත ගායනා කරන්න අවස්ථාව ලැබුණා. ඒ දේවල් ඒක්ක තමයි ගායිකාවක් වීමේ මුල් අඩිතාලම වැටුණේ.
*මෑතකදී ඔබ එක්තරා වැඩසටහනකදී අඳින පළඳින විදිය සම්බන්ධයෙන් දක්වපු අදහසක් සමාජයේ වැඩි වශයෙන් කතාබහට ලක්වුණා?
ඔව්. එතැනදී මම උත්තර දුන්නේ අදාළ වැඩසටහනේ නිවේදකයා අහපු ප්‍රශ්නයකට. අද වෙද්දී සිරුර ආවරණය වන විදියට ඇඳීම පැළඳීම ගොඩේ කියලා මතයක් සමාජයක් ගොඩනැගිලා තියෙනවා. ඒ ගැන මම අදහස් පළකරන ගමන් ඒ වෙලාවෙ වැඩසටහනට සහභාගී වෙලා හිටපු ශෂිකා නිසංසලා නංගී අඳින පළඳින විදිය ගැනත් කතා කළා. ඒ කතාව විකෘති කරලා එක්තරා යූ ටියුබ් නාලිකාවකින් සමාජ මාධ්‍යයට මුදාහැරලා තිබුණා. සිද්ධ වුණේ එහෙම දෙයක් මිසක මම තවත් කෙනෙක්ට උපදෙස් දීමක් නෙමෙයි.
*ශෂිකා නිසංසලා කියන්නේ ක්ෂේත්‍රයේ ඔබේ සමීපතම මිතුරියක්. ඒ මිතුරුකම් ගොඩනැගුණ හැටිත් මතක් කරමුද?
ශෂිකාත් මමත් ක්ෂේත්‍රයේ නිතරම මුණගැහෙනවා. ඒ මුණගැහුනම අපි කතාබහ කරන දේවල් අදහස් එක සමාන වීම හේතුවක් වුණා අපි අතරේ මිතුරුකමටත් එහා ගිය සහෝදරත්වයක් ගොඩනැගෙන්න. ඊට අමතරව සුභානි නංගි, නිරෝෂා වගේම සමිතා අක්කාත් මේ ක්ෂේත්‍රයේදී මට මුණගැහුණ ආදරණීය චරිත විදියට මතක් කළ යුතුයි.
*පවුලේ විස්තර කිව්වොත්?
මගේ සැමියා වෛද්‍යවරයෙක්. පුතා සසේන් සවිත් කොළඹ ආනන්ද විද්‍යාලයේ 07 වැනි ශ්‍රේණියේ මේ වෙද්දි ඉගෙනගන්නවා.
*ඉදිරි බලාපොරොත්තු මොනවද?
මේ දවස්වල නම් මගේ එකම බලාපොරොත්තව අලුත් ගීතය. ඊට අමතරව කාලයක් තිස්සේ මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ඒක පුද්ගල ප්‍රසංගයක් පවත්වන්න. වැඩි කාලයක් නොගෙන එම ප්‍රසංගය පැවැත්වීමටත් සිතා සිටිනවා.
*අවසාන වශයෙන් ඔබේ රසික රසිකාවියන් වෙනුවෙනුත් කියන්න යමක් ඔබට ඇති?
අද මම ජනප්‍රිය ගායිකාවක් විදියට මේ තැන ඉන්නේ මගේ ආදරණීය රසික රසිකාවියෝ නිසා. ඉතින් මාව අගයන, මට ආදරේ කරන ඒ හැමකෙනෙකුටම බොහොම ස්තුතියි.
නෙත්මි තෂාරා