News

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු අත්‍යවශ්‍ය සේවා විධිමත්ව ගෙනයාමට පියවර ගන්න

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු වෛරසය පාලනයට සහය වන අයුරින් අවම පිරිසකගේ සහභාගීත්වයෙන් අත්‍යාවශ්‍ය සේවා විධිමත්ව පවත්වාගෙන යාමට පියවර ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසීය.

රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම සේවා ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සහාය වන ආකාරයෙන් සැලසුම් සකස් කළ යුතු බවද ජනාධිපතිවරයා කීවේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ බව සඳහන් කළේ අත්‍යාවශ්‍ය සේවා සපයන ප්‍රධාන අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරු සහ ආයතන ප්‍රධානීන් සමග ඊයේ (21 වැනිදා) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදීය.

ජල නළ එළීම, මාර්ග ඉදිකිරීම් වැනි පාලනයක් ඇතිව කළ හැකි සංවර්ධන වැඩ කඩිනමින් ආරම්භ කිරීමේ වැදගත්කමද පෙන්වා දුන් ජනාධිපතිවරයා සේවකයන් රාජකාරි කිරීම සඳහා කැඳවීමේදී පනවා ඇති නිර්දේශ අනුගමනය කිරීම ආයතන ප්‍රධානීන්ගේ වගකීමක් බවද කීවේය.

බස්නාහිර පළාත ඇතුළු ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක් ප්‍රදේශවල සේවාවන් පවත්වාගෙන යාමට සැලසුම් සකස් කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

රෝහල් සහ ඔසුසල් නිකුත් කළ ඖෂධ තැපැල් කාර්යාල මගින් බෙදාහැරීමෙන් ඇඳිරි නීතිය පනවා ඇති කාලයේදී රෝගීන්ට විශාල සේවාවක් ඉටුකිරීම හා තැපැල් කාර්යාල මගින් බිල්පත් එකතු කිරීම, බැංකු තැන්පතු භාර ගැනීම ඇතුළු ලබාදිය හැකි සේවාවන් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ඇතුළු අමාත්‍යංශය කිහිපයක ලේකම්වරු සහ සභාපතිවරු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.