News

ඇමරිකාවේ කොරෝනා යළි දරුණු තත්ත්වයකට

ඇමරිකාවේ කොරෝනා යළි දරුණු තත්ත්වයකට

ඇමරිකාව තුළ නැවතත් කොවිඩ් වසංගතය ඉතා දරුණු තත්ත්වයට පත් විය හැකි බවට එරට විශේෂඥයන් අනතුරු අඟවා තිබේ. මේ වන විට එරට නව ආසාදිතයන් වාර්තා වීමත්, රෝහල්වලට රෝගීන් ඇතුළත් වීමත් ඉහළ යමින් ඇති බව වාර්තා වේ. පසුගිය සතිය තුළ නව ආසාදිතයන් 431,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබිණි. මෙය සියයට 9ක පමණ වැඩි වීමක් බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. සති දෙකක් තිස්සේ එක දිගටම ආසාදිතයන් වාර්තා වීම වැඩිවෙමින් ඇති බවත්, එවැනි තත්ත්වයක් මතුව ඇත්තේ ජනවාරි මාසයෙන් පසු පළමු වතාවට බවත් සඳහන් වේ.

එරට ප්‍රාන්ත 50න් 33කම ආසාදිතයන් වැඩි වෙමින් ඇති බව මාධ්‍ය සඳහන් කරයි. ඇතැම් ප්‍රාන්තවල බලධාරීන් නිසි කාලයට කලින් සෞඛ්‍ය සීමාවන් ලිහිල් කිරීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී තිබේ. ප්‍රසිද්ධ ස්ථානවලදී මුහුණු ආවරණ පැලඳීම අනිවාර්ය කරන ලෙස ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රාන්තවල නායකයන්ගෙන් ඉල්ලීමක් කර ඇත. මේ අතර රෝග පාලනය සහ වැළැක්වීම පිළිබඳ මධ්‍යස්ථාන නමැති ආයතනයේ ප්‍රධානි වෛද්‍ය රොචෙල් වැලෙන්ස්කි පසුගියදා ධවල මන්දිරයේ දී මාධ්‍ය අමතමින් ඉදිරියේ දී ඇමරිකාව තුළ නැවතත් බරපතළ තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු අඟවා තිබුණාය. ඇය සඳහන් කර තිබුණේ ඉදිරියේ දී ඇති විය හැකි තත්ත්වය ගැන තමා තුළ විශාල බියක් ඇති බවයි.

සහන් වික්‍රමගේ