News

ඇවන්ගාඩ් අල්ලස් නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප වෙයි

රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් දීම සහ ලබා ගැනීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව නිෂ්ප්‍රභ කර තමන්ව චෝදනාවලින් නිදහස් කරන්නැයි එම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටින ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරු ඉදිරිපත් කළ මූලික විරෝධතා අද(11) ප්‍රතික්ෂේප කළ කොළඹ මහාධිකරණය එම නඩුව විභාගයට ගැනීමට තීන්දු කළේය.

ඒ අනුව මෙම නඩුවේ සාක්ෂි විභාගය ජුනි මස 4 වනදා සිට යළි ආරම්භ කරන බව ද තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය නියෝග කළාය.

මෙම නඩුව ගොනු කිරීම සඳහා අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තුන් දෙනා විසින් ලබාදුන් ලිඛිත අනුමැතිය නඩුව ගොනු කිරීමේදී අධිකරණයට ඉදිරිපත් කර නොමැති බැවින් එය පවත්වාගෙන යාමට නොහැකි යැයි විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මීට පෙර මූලික විරෝධතා මතු කර තිබුණි.

මේ හේතුවෙන් අදාල නඩුව නිෂ්ප්‍රභ කොට තම සේවාදායකයින් නිදහස් කරන ලෙසද ඔවුන් සිය මූලික විරෝධතා තුළින් අධිකරණයෙන් අයැද තිබුණි.

එහෙත් එම මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කළ විනිසුරුවරිය මෙම නඩුව අල්ලස් පනතේ 11 වන වගන්තිය යටතේ ගොනුකර ඇති හෙයින් ඊට අභියෝග කිරීමට අධිකරණයට හැකියාවක් නොමැති බව සඳහන් කළාය.

ඒ අනුව විත්තිය විසින් ඉදිරිපත් කරන ලද මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරන බවද විනිසුරුවරිය සිය තීන්දුවෙන් සඳහන් කළාය.

ඇවන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස් සමාගමට ගාලු වරාය ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ඉටු කර දීම සඳහා රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් දුන් බවට චෝදනා කරමින් මෙම නඩුව තුළින් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට චෝදනා එල්ල කර තිබේ.

එම ලක්ෂ 355 ක මුදල අල්ලස් වශයෙන් ලබා ගැනීම තුළින් විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ද වරදක් සිදු කර ඇතැයි මෙම නඩුවෙන් තවත් චෝදනාවක් එල්ල කර ඇත.

 

(අධිකරණ වාර්තාකරු)