News

ඇ.ඩො. මිලියන 455ක ණයක් ලබාගන්න ජනපති සහ ආසියානු සංවර්ධන බැංකුව අතර ගිවිසුම් අත්සන් කෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ව්‍යාපෘති තුනක් වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 455 ක ණය ආධාරයක් ලබා ගැනීමට අදාළව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ සභාපති තකෙහිකෝ නාකාඕ මහතා අතර ගිවිසුමක් අද (17) අත්සන් කෙරුණා.

පිලිපීනයේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (17) පෙරවරුවේ පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ නිරික්ෂණ චාරිකාවකට එක් වුණා.

ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානය ස්ථාපිත කළ අවධියේ සිට එහි සුවිශේෂී අවස්ථාවන් සිහිපත් කරමින් ප්‍රදර්ශනය කර ඇති ඡායාරූප එකතුව නැරඹීමට ද ජනාධිපතිතුමා එක් වුණා.

අනතුරුව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති තකෙහිකෝ නාකාඕ මහතා ජනාධිපතිතුමා හමු වී සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව මෙම ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.

මෙයින් ඇමරිකන් ඩොලර් මිලියන 300ක ණය ආධාරයක් ශ්‍රී ලංකාවට සැපයීමට එකඟතාවය පළ වී ඇත්තේ කොළඹ වරායට පිවිසීම සඳහා කුලූණු සහිත මහාමාර්ගයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සඳහායි.

ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු උප කලාපය සඳහා ආර්ථීක සහයෝගය සැපයීමේ ප්‍රතිපත්ති රාමුව තුළ එම එකඟතාවය පළ වී තිබෙනවා.

එමෙන්ම විද්‍යා තාක්ෂණික හා මානව සම්පත් සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 145ක මුදලක් ලබාදීමට එකඟතාවය පළ කෙරුණා.

නගර සංවර්ධන ව්‍යාපෘතිවල සක්‍යතා අධ්‍යයනය වෙනුවෙන් තාක්ෂණික ආධාර සැපයීමේ යෝජනා ක්‍රමයක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 10 ක මුදලක් ලබාදීමට ද එකඟතාවය පළ වී තිබෙනවා.