ඉන්දියානු බියුටි සැලොන් 700 වසා දමනවා
පසුගිය ආණ්ඩුව සමයේ ආයෝජන මණ්ඩල අනුමැතිය සහිතව ආරම්භ කර ශ්‍රී ලංකාවේ පිහිටුවීමට යන ‘නැචුරල් සැලෝන්’ නමැති ඉන්දියානු සමාගමේ රූපලාවණ්‍යාගාර 700ක ව්‍යාපෘතිය නතර කිරීමට කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කර පියවර ගන්නා බව ඇමැති විමල් වීරවංශ පවසයි.
පසුගියදා (03 වැනිදා) අමාත්‍යාංශයේදී ශ්‍රී ලංකා රූපලාවණ්‍ය හා කේශාලංකරණ ශිල්පීන්ගේ සංගමය සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බැව් පැවසීය.
ජාත්‍යන්තර මට්ටමෙන් දක්ෂතා පෙන්වා ඇති , කලාපයේ ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලාංකික රූපලාවණ්‍ය වෙළෙඳපොළට වෙනත් රටක ව්‍යාපාරිකයන් කඩාවැදීම කිසිසේත්ම ඉඩ නොදිය යුත්තක් බවද හෙතෙම කීය. මේ වන විට එවැනි රූපලාවණ්‍යගාර අටක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවා ඇත.
එහිදී අදහස් දැක්වූ වීරවංශ ඇමැතිවරයා මෙසේද සඳහන් කළේය.
ශ්‍රී ලංකා රූපලාවණ්‍ය හා කේශාලංකරණ ශිල්පීන්ගේ සංගමයේ නියෝජිතයන්ගේ ඉල්ලීම් දෙකක් ඉදිරිපත් වුණා. පළමුවැන්න මේ රටේ රූපලාවණ්‍ය හා කේශාලංකරණ ක්ෂේත්රයේ රැකියාවන්හි නිරත හාර ලක්ෂයකට අධික පිරිස පිළිබඳ වගකියන රාජ්‍ය ආයතනයක් ලබාදීම. ඒ පිළිබඳව අධීක්ෂණය කරන රාජ්‍ය යාන්ත්‍රණයක් මෙතෙක් නැහැ, ඒ නිසා එවැනි අධිකාරියක් පිහිටුවන්න” කියන එක. ඒ ඉල්ලීම අපි ඉතා ධනාත්මකව පිළිගත්තා. ඒ අනුව අමාත්‍යාංශය ඒ පිළිබඳව අධ්‍යයනයක නිරත වෙනවා. ඉන්දියාව ඇතුළු අසල්වැසි රටවලට දැනටත් මෙවැනි රාජ්‍ය යාන්ත්‍රණ තිබෙනවා.
දෙවැන්න තමයි ඉහත කී ඉන්දියානු රූපලාවණ්‍ය ආයතන පිහිටුවීම නතර කිරීම. මේ රූපලාවණ්‍ය වෙළෙඳපොළට වෙනත් රටක ව්‍යාපාරිකයන් කඩාවැදීම කිසිසේත්ම සුදුසු වන්නේ නැහැ. මා බලාපොරොත්තු වෙනවා ඇමැති මණ්ඩලය තුළ මේ පිළිබඳ සාකච්ඡා කරලා දේශීය රූපලාවණ්‍ය ශිල්පීන්ට එල්ලවන මේ තර්ජනයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා පියවර ගන්න.
ශිරන්තනි මානවඩු
