ඉන්දිය දුම්රිය මැදිරි 10ක් වරායේ හිරවෙයි
ඉන්දියාවේ සිට ආනයනය කර ඇති දුම්රිය මැදිරි දහයක් දුම්රිය වෘත්තීය සමිතිවල විරෝධයක් හේතුවෙන් සතියක පමණ කාලයක් කොළඹ වරායේ රඳවා තිබුණි.
දුම්රිය ඩීසල් හා විදුලි යන්ත්‍රාගාරයේ ගාල්කර ඇති එම්-11 කාණ්ඩයේ ඉන්දීය එන්ජින් යොදා ධාවනය කිරීම සඳහා ඉන්දීය මැදිරි එකසිය හැටක් මෙරටට ඇනවුම් කර තිබේ.
ඇනවුම් කර ඇති මැදිරි 160න් පළමු මැදිරි 10ක ප්‍රමාණයක් පසුගියදා මෙලෙස කොළඹ වරායට ගෙනවිත් ඇත. දුම්රිය රියැදුරු, නියාමක ඇතුළු වෘත්තීය සමිති රැසක් මෙම මැදිරි දහය භාරගැනීම පිළිබඳ විරෝධය දක්වා ඇත්තේ සෙසු මැදිරි එකසිය පනහක ප්‍රමාණය ගෙන ඒම අත්හිටවන ලෙස රජයට බලකරමිනි. එම මැදිරි ගෙන ඒම වහා නවත්වන බවට රජය පොරොන්දු විය යුතු බව වෘත්තිය සමිති පවසයි. එම මැදිරි නොගෙනත් දැනට දෝෂ සහිතව පවතින චීන මැදිරි අලුත්වැඩියා කර සේවයට යෙදවීම මගින් විශාල මුදලක් ඉතිරිකරගත හැකි බව එම සමිති පෙන්වා දෙයි.
කෙසේ වෙතත් දැනට ගෙන්වා තනි මැදිරි භාවිතයට ගැනීම කෙරෙහි එම සමිතිවල විරෝධයක් නැත.
ඒ අනුව මෙම මැදිරි දහයක ප්‍රමාණය අද (15 වැනිදා) රත්මලාන දුම්රිය කර්මාන්ත ශාලාව වෙත ගෙන යන බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී කීර්ති හේවාවිතාරණ ‘අරුණ’ කළ විමසුමකදී සඳහන් කළේය.
එෆ්. අස්ලම්