News

ඉන්ෆ්ලුවන්සා වෛරස රෝග ආසාදනය වැඩිවීමේ ප්‍රවණතාවක්

පසුගිය සති කිහිපය තුළ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලින් ඉන්ෆ්ලුවන්සා වෛරස ආසාදනය වූ රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සදහන් කළේ පවතින වැසි සහිත සහ ශීතල කාලගුණික තත්ත්වය නිසා ඉන්ෆ්ලුවන්සා රෝගය වැඩිවීමේ ප්‍රවණතාවයක් දැකිය හැකි බවයි.

මෙම සෘතුමය ඉන්ෆ්ලුවන්සා වෛරස මගින් ඇති කරන සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා උණ නොහොත් “Flu” රෝගී තත්ත්වය උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර, බොහෝවිට ප්‍රතිකාර රහිතවම සුව අතට පත්වේ.

නමුත් සමහර පුද්ගල කාණ්ඩවලට විශේෂයෙන් ගර්භනී මව්වරුන්, වයස අවුරුදු දෙකකට අඩු දරුවන්, වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයින්, ප්‍රතිශක්තිය හීන වූ පුද්ගලයින් හා නිදන්ගත හෘද, අක්මා, වකුගඩු, දියවැඩියා, පිළිකා රෝගීන් වැනි රෝග වලින් පෙළෙන්නන්ට ඉන්ෆ්ලුවන්සා වෛරස ආසාදන තත්ත්වය තීව්‍රවීමට හෝ සංකුලතා ඇතිවීමට වැඩි ඉඩක් ඇති බැවින් එම අවදානම් කාණ්ඩවලට අයත් රෝගීන් එවැනි රෝග ලක්ෂණ ඇති වූ විට ඉක්මනින් සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කරගෙන අදාළ වෛද්‍ය උපදෙස් පිළිපැදිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.

හොද සෙ$ඛ්‍ය තත්ත්වයෙන් සිටින කුමන වයස් කාණ්ඩයක අයෙකුට වුවද මෙම රෝග ලක්ෂණ ඇති වී යම් තීව්‍රවීමක් හෝ ශ්වසන අපහසුතාවයක් ඇතිවුවහොත් ඔවුන්ද හැකි ඉක්මනින් ප්‍රතිකාර සදහා යොමු විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් දැනුම් දෙයි.