News

ඌවේ ඉංජිනේරුවෝ රෝගීන්ට හුස්ම දෙයි

ස්වසනාබාධ සහිත පුද්ගලයන් එක් අයෙකුට හෝ කිහිපදෙනෙකුට හෝ අවශ්‍ය නම් සමස්ත රෝහලටම එකවර ඔක්සිජන් සැපයිය හැකි යන්ත්‍රයක් බණ්ඩාරවෙල හා ඒ ආශ්‍රිත ඉංජිනේරුවන් පිරිසක් එක්ව නිර්මාණය කර තිබේ.

මෙම වායුගෝලයෙන් ඔක්සිජන් වෙන්කර ගැනීමේ යන්ත්‍රය ( Oxygen concentrator device)මඟින් වායුගෝල වාතයේ ඇති 76-78% වන නයිට්‍රජන් වායුව වෙන්කර 95% කට ආසන්න ඔක්සිජන් සාන්ද්‍රණයක් සහිත වායුව ලබාගැනීම සිදුකරයි. මෙම යන්ත්‍රය මගින් රෝගීන් 15 දෙනෙකු සඳහා එකවර ඔක්සිජන් සැපයිය හැකි අතර මෙය වැඩිදියුණු කිරීම මගින් මුළු රෝහල තුල ඇති සම්පුර්ණ ඔක්සිජන් ඉල්ලුම සපුරාලීමටද හැකිය.

දැනට රෝහලක් සඳහා අවශ්‍ය oxygen වායුව සපයාගන්නේ ද්‍රව ඔක්සිජන් ලෙස රෝහලට රැගෙනවිත් රෝහල තුල ඇති ටැංකි වල අධි පීඩනයක් යටතේ රඳවා තබාගැනීම මඟිනි. මෙහිදී ඔක්සිජන් නිෂ්පාදනය, ප්‍රවාහනය හා ගබඩා කිරීම සඳහා විශාල වියදමක්,කාලයක් හා ශ්‍රමයක් වැය කිරීමට සිදුවේ. නමුත් මෙමඟින් අදාළ රෝහල තුළම ඔක්සිජන් නිපදවා ගත හැකිය.

දිනුක බණ්ඩාර, ප්‍රභාත් ඒකනායක, විරාජ් චතුරංග, දිමුතු මධුෂාන් , හේෂාන් පෙරේරා, හර්ෂප්‍රිය රත්නායක, සුපුන් ලක්මාල් යන ඉංජිනේරුවන් විසින් මෙය නිර්මාණය කළ අතර පසුගියදා(21) බදුල්ල රෝහලේදී ප්‍රථමවරට එය හඳුන්වාදෙනු ලැබිණි.

මේ පිළබඳව අදහස් දක්වන ඉංජිනේරු දිනුක බණ්ඩාර මෙසේ පැවසීය.

“ස්වසානාබාධ සහිත රෝගීන්ට ඔක්සිජන් ලබාගත හැකි උපකරණයක් මිලදී ගන්න සිදුවීමේදී විශාල පිරිවැයක් දරන්න වෙනවා. නමුත් අපිට වැඩිදියුණු කළ තත්ත්වයන් තුළ මෙය අඩු මුදලකින් නිෂ්පාදනය කිරීමේ හැකියාව තියෙනවා. අපේ නිර්මාණ මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයටත් ආර්ථිකයටත් ඵලදායි නිපැයුමක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ සඳහා අපට උදව් කල බදුල්ල මහා රෝහලේ රෝහල් කාර්යමණ්ඩලය සහ සෑම අයුරකින්ම උපකාර කල සියලු දෙනාටම ස්තූතිය පලකරවා”.

ශිරන්තනි මානවඩු