එක වැඩේ දෙක කළාට කමක් නෑ දරුවන්ට කුස්සියට එන්න දෙන්න
ඔබේ දරුවා ගෑනු දරුවෙක් වුණත් පිරිමි දරුවෙක් වුණත් පුංචි කාලෙ ඉඳලා එයාලට උයන පිහන දේවල් ගැන පුංචි හරි අවබෝධයක් දෙන එක අම්මා කෙනෙක්ගෙ වගකීමක් කියලයි මම හිතන්නෙ. සමහර තරුණ ගෑනු දරුවෝ ඉන්නවා කුස්සියට යන එක, තමන්ගේ කෑමක් බීමක් තමන්ම හදාගන්න එක මදිකමක් නැත්නම් ලැජ්ජාවක් කියලා හිතන. හැබැයි ගැහැනු දරුවෙක් වුණත් පිරිමි දරුවෙක් වුණත් හදිස්සියට බතක් උයලා, පොල් සම්බෝලයක් හදලා, පරිප්පු ටිකක් හදාගන්න දැනගෙන හිටියා කියලා ඒකෙන් හොඳක් මිසක් නරකක් වෙන්නෙ නෑනේ. දරුවන්ට පුංචි කාලෙම ඒ දේවල් පුරුදු නොකළොත් සමහරවිට ඒ දරුවො ලොකුවෙලා සමාජගත වුණු දවසක වැඩිපුරම බැණුම් අහන්න වෙන්නෙත් දෙමාපියන්ට.
අනිත් එක සමහර ගෙවල්වල අම්මා උයන වෙලාවට පුංචි දරුවො කුස්සියට ආවොත් අම්මලා කරන්නෙ ‘ගිහිල්ලා පොත්පත්වල වැඩ කරගන්න, මේව මට කරගන්න පුළුවන්’ කියලා දරුවන්ව හරවලා යවන එක. සමහර වෙලාවට එයාලා කුස්සියට ආවම එක වැඩේ දෙක වෙනවා තමයි. හැබැයි එහෙමයි කියලා අපි දරුවන්ට ඒ අවස්ථාව නොදුන්නොත් සමහරවිට ආපහු කවදාවත් එයාලට ඒ අවස්ථාව ලැබෙන එකක් නැතිවෙන්න පුළුවන්.
ඉතින් ඒ නිසා මගේ වැඩවලට දරුවන්ව සම්බන්ධ කරගන්න හැටි වගේම එයාලගේ කෑම ගැන විශේෂ අවධානයක් යොමු කරන හැටිත් කියන්න ඕන කියලා හිතුවා.
මං හැමවෙලේම කියනවනේ කෑම හදන එක අපි අපේ ආදරේ පෙන්නන තවත් විදියක් කියලා. ඒ නිසා දරුවො ඉස්කෝලේ යද්දි මං උදෙන්ම ඇහැරලා හදන කෑම පෙට්ටිවල ලස්සන, රස විතරක් නෙවෙයි ආදරෙත් පිරිලා තියනවා. ඒ වගේම එකම විදියට නැතුව වෙනස් වෙනස් කෑම වෙනස් වෙනස් විදිවලට දෙන්නත් මං උපරිම උත්සාහ ගන්නවා. මොකද අපි එකම කෑම රටාවකට කැමති නෑ වගේ දරුවොත් එකම දේ කන්න කැමති නෑ. හැමදාම එකම දේ එකම විදියට දීලා දරුවො කන්නෙ නෑ කියලා එයාලට චෝදනා කරන එක ඇත්තටම වැරදියි. ඒ නිසා අම්මා කෙනෙක් දරුවන්ට කෑම හදද්දී ටිකක් උපක්‍රමශීලී වෙන්නත් ඕන.
මං හැමදාම දරුවන්ට බත්ම දෙන්නේ නෑ. පොඩි අය බත්ම කන්න ආසත් නෑ. අපේ ගෙදර දවල්ට පාන්, නූඩ්ල්ස් එහෙම කන වේලාවලුත් තියෙනවා. ඒවා එයාලා ආස ක්‍රමේකට හදලා දෙනවා.
පුංචි පුංචි හැඩ වැඩ දාලා කෑම හදලා දෙද්දී දරුවෝ ගොඩක් ආසාවෙන් කනවා. ඒ වැඩේට මං ගාව තියෙනවා එක එක හැඩවල cutters. බත් පාවිච්චි කරලා ඒවාගෙන් එක එක හැඩේට කෑම හදන්න පුළුවන්. ජපානේ ඒවාට කියන්නේ ‘ඔනිගිරී’ කියලා. ඔයාලට මේ වචන අලුත් වගේ දැනෙයි. ඒත් මගේ හිතට සතුටුයි වෙන රටක කෑමවල අත්දැකීම ලංකාවේ අපේ ගෘහණියන් එක්ක මෙහෙම හරි බෙදාගන්න පුළුවන් වෙන එක ගැන.
බත් පාවිච්චි කරලා අතින් හරි කටර් එකක් ආධාරයෙන් හරි තමයි ඔනිගිරී හදන්නෙ. බත් ඇතුළට මාළු, මස් වර්ග දාලත් ඔනිගිරී හදනවා. ජපන් හාල ඇලෙන හාලක් නිසා එකෙන් හැඩ හදන්න ලේසී. සරලවම කිව්වොත් අපේ ඉබුල් කිරිබත් වගේ. සමහරවිට අපේ බත් පොඩ්ඩක් බෙරි කරගත්තොත් හදන්න බැරි වෙන එකකුත් නෑ.
ලංකාවේ වගේම මේ දවස්වල මං ඉන්න රටෙත් කොරෝනා ඉක්මනින් පැතිරෙනවා. ඒ නිසා මෙහෙත් තුන්වෙනි පාරට ආපහු ඉස්කෝල වැහුවා. මාසෙක ඉඳන් පොඩි අය අන්තර්ජාල මාධ්‍යයෙන් පාසල් වැඩ කරන්නේ. අවුරුදු තුනේ මගේ පුංචි අයාන් පුතාටත් online schooling තියෙනවා. නතාරී දූගෙයි, ඔවින්‍යා දූගෙයි online school එක 8ට පටන් ගත්තාම ඉවර වෙන්නේ 3.30ට. පැයෙන් පැයට පොඩි විවේක වේලාවක් එක්කම පාසලේ විදියටම වැඩ ටික online class එකෙන් වෙනවා. ගෙදරටම කොටුවෙලා ඉන්න නිසා දරුවෝ ඉන්නෙත් පීඩනයකින්. ඒ නිසා Electronic devices වලට එයාලා ඇබ්බැහි වෙන්නත් තියෙන ඉඩ වැඩියි. ඉතින් මං ගොඩක් වේලාවට කරන්නේ ඉස්කෝලේ වැඩ ඉවර වුණාම හවස්වරුවේ එයාලවත් එකතු කරන් මොනවහරි හදන එක.
කේක් හදන වැඩේට මගේ දරුවො තුන්දෙනාම ආසයි. සමහර වෙලාවට ඒ වැඩවලට එකතු කරගත්තම එයාලා පිටි බිම හලනවා, බිත්තර කඩනවා. ඇත්තටම කිව්වොත් වැඩේ එක දෙක වෙන වෙලාවලුත් තියනවා, ඒත් ඒකෙන් දරුවෝ අලුත් දේවල් ඉගෙනගන්නවා. එයාලට විනෝදෙකුත් ලැබෙනවා.
තව මං එයාලා එක්ක සොසේජස් පේස්ට්‍රි හදනවා. එයාලා ආසම ඒවා හදන්න. උදේ ඉඳන් e learning එක්ක ඔට්ටු වෙලා ඉඳලා පැටව් තුන්දෙනාට මහන්සිය නිවාගන්නයි විනෝදවෙන්නයි ඒක හොඳ වැඩක් බව මට තේරුණා. පේස්ට්‍රි ශීට් එක සොසේජස් වටේ ඔතන්න, බිත්තර සාරු බ්‍රශ් එකකින් සෝසේජස් පේස්ට්‍රි උඩ ගාන්න අක්කලා දෙන්නා හරි ආසයි. මල්ලිටත් පොඩි පොඩි වැඩ ටිකක් දෙනවා හිත රිද්දන්න බැරි නිසා. මේ වගේ පොඩි පොඩි වැඩවලට දරුවො හුරුකරගත්තාම එයාලාට ඒකාකාරීබවෙන් මිදෙන්න හොඳ අවස්ථාවක් ලැබෙනවා.
ඒ වගේම විශේෂයෙන්ම පිරිමි දරුවෙක් නම් කුස්සියට යන එක, උයන පිහන දේ වලට උදව් කරන එක වරදක් කියලා හිතන්න පෙළඹෙන වැරදි ආකල්පය නැති වෙනවා. දරුවන්ව මේ වැඩවලට එකතු කරගනිද්දි කෑමවල රසය, ඒවයෙ පාට, රස වෙන්න එකතු කරන දේවල් ගැන වගේම ඊටපස්සෙ කුස්සිය පිළිවෙලට, පිරිසිදුවට තියාගන්න හැටිත් එයාලා ඉගෙනගන්නවා. අපි කොච්චර රහට ඉව්වත් කුස්සියට කිට්ටු වෙන්න බැරි තරම් ඒක අපිළිවෙල වෙලා නම් ඒක හොඳ නෑනේ. ඒ නිසා ඉව්වට පස්සේ කුස්සිය අස් කරලා, වතුර පිහදාලා පිළිවෙලට තියෙන එකත් කළ යුතු බව දරුවන්ට කියලා දෙන්න. ඔබේ දියණිය බිරිඳක්, ගෘහණියක් වුණු දවසක එයාලගෙ පුංචි කාලෙ අම්මගෙන් ඉගෙනගත්තු මේ හොඳ පුරුදු එයාලට අනිවාර්යෙන්ම ආශිර්වාදයක් වේවි.
පුංචි පුංචි දේවල්වලින් සතුට හොයාගන්න හැම හිතකටම හැකිවේවා!!!
හෂීණී මනමේන්ද්‍ර